ජාත්‍යන්තර මෝටර් රථ ධාවන ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලාංකීය නාමය තවදුරටත් ඉහළ නැංවීම සඳහා DIMO සමාගම යෙවාන් ඩේවිඩ් සමඟ අත්වැල් බැඳගනියි

ශ්‍රී ලාංකීය නාමය ජාත්‍යන්තරය තුළ තවදුරටත් ඉහළින් ඔසවා තැබීමේ පොදු අරමුණ  මුල් කරගනිමින් මෙරට ප්‍රමුඛ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක්  වන DIMO සමාගම, යොවුන් මෝටර් රථ ධාවක යෙවාන් ඩේවිඩ් සමඟ සුවිශේෂී හවුල්කාරිත්වයක් ආරම්භ කර තිබේ. ජාත්‍යන්තර මෝටර් රථ ධාවන ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලාංකීය ගමන සඳහා නව අරුතක් මෙම සහයෝගීතාවය ඔස්සේ එකතු කරයි.

වයස අවුරුදු 06 දී පියා සමඟ බණ්ඩාරගම පිහිටි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කාර්ටිං ධාවන පථයේ දී (වර්තමානයේ  SpeedBay)   සිදුකළ  කාර්ටිං ධාවනය සමග යෙවාන්ගේ මෝටර් රථ ධාවන දිවිය ආරම්භ විය. එහිදී යෙවාන් දැක්වූ විශිෂ්ට කුසලතාවය ඔහුගේ පවුල මැනවින්  හඳුනාගත් අතර ඔහුගේ හැකියාවන් තව දුරටත් වර්ධනය කර ගැනීමට  දායකයත්වය ලබා දුන්හ. යෙවාන් 2015 වසර වන විට සිංගප්පූරුවේ පැවැති කාර්ටිං ධාවන තරග සඳහා සහභාගීවෙමින් ජාත්‍යන්තර තලය වෙත සිය මුල් පියවර තැබුවේය. එහිදී, ප්‍රදර්ශනය කරන ලද රිය ධාවනය පිළිබඳ විශිෂ්ට දක්ෂතාවය යෙවාන් වෙත මැලේසියාවේ සහ මැකාවු හි තරග සඳහා දොරගුළු විවර කළේය. දස හැවිරිදි යෙවාන්  2017 දී  IAME Asia Series X30 ශූරතාව දිනා ගනිමින් කැඩෙට් (Cadet) කාණ්ඩය ජයග්‍රාහණය කිරීමට සමත් විය. එමෙන්ම  තමා පළමුවරට කාර්ට් රියකට ගොඩ වූ SpeedBay  ධාවන පථයේදීම ඊළඟ වසරේ  X30 Asia Cup ශූරතාවය දිනා ගැනීමට ද ඔහු සමත්විය. මේ ආකාරයට ඉන් අනතුරුව ද ඔහු වෘත්තීය කාර්ටිං ධාවනය ප්‍රගුණ කරන ලදී.

යෙවාන්  2024 දී Eurocup3, Formula 4 සහ Euroformula Open 4, වැනි Formula තරග සඳහා සහභාගි විය. 2025 වසරේ දී පැවැති විවෘත Euroformula ශූරතාවලියේ දී යෙවාන්  සමස්ත දෙවන ස්ථානය මෙන්ම, Rookie  කුසලානය ද දිනා ගැනීමට සමත් විය. මෙම විශිෂ්ට ජයග්‍රහණයන් සමඟ මෙම  ක්‍රීඩා ක්ෂේත්‍රයේ තවදුරටත් ඉදිරියට ගමන් කිරීමට සූදානම් වන යෙවාන්  FIA Formula 3 තරගාවලියට තරග වදින පළමු ශ්‍රී ලාංකිකයා ලෙස නුදුරේදීම තරගයට සහභාගී වීමට නියමිතය.

මෙම සහයෝගීතාවය පිළිබඳව අදහස් දක්වමින් යෙවාන් ඩේවිඩ් මෙසේ සඳහන් කළේය. “මෝටර් රථ ධාවන අංශය තුළ ශ්‍රී ලාංකික ධජය තවදුරටත් ඉදිරියට රැගෙන යාමට මෙම හවුල්කාරිත්වය අපට මනා ජවයක් ලබාදෙනු ඇතැයි මම විශ්වාස කරනවා. මෙය සහයෝගීතාවයකින් ඔබ්බට ගිය සුවිශේෂී කටයුත්තක් වන අතර ලෝකයේ හොඳම ධාවකයන් හා සමානවම කරට කර තරග වැදීමට ශ්‍රී ලංකාව සතුව ඇති හැකියාව පිළිබඳ අප තුළ පොදු විශ්වාසයක් ඇති කරනු ලබනවා.”

DIMO  සමාගමේ විධායක අධ්‍යක්ෂ රජීව් පණ්ඩිතගේ මහතා මේ සම්බන්ධයෙන් සිය අදහස් එකතු කළේ මෙසේය. “මෝටර් රථ ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය පිළිබඳ වසර 85කට වැඩි කාලයක් ප්‍රමුඛස්ථානය දිනා ගත් DIMO සමාගම දේශීය යොවුන් දක්ෂතාවන් ගෝලීය මට්ටමට රැගෙන යාම වෙනුවෙන් නිරන්තරයෙන් සහාය ලබා දෙනවා. යෙවාන් සතු ජවය, අසමසම දක්ෂතාවය සහ මෝටර් රථ ධාවනය පිළිබඳ ඔහු සතු හැකියාවන් වැනි ගුණාංගයන් ජාතියක් ලෙස අපේ රට වෙත අභිමානය රැගෙන එනවා. ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාව දිනාගෙන ඇති  ස්ථානය මෙම සහයෝගීතාවය ඔස්සේ තවදුරටත් ඉහළ නංවනු ඇතැයි අපි විශ්වාස කරනවා.”

DIMO සමාගම ශ්‍රී ලංකාව තුළ Mercedes-Benz, Jeep, සහ Tata වැනි ජාත්‍යන්තර වශයෙන් ඉහළ කීර්තියක් දිනා ගත් සන්නාමයන් නියෝජනය කිරීමේ සිට වාහන අලෙවියෙන් පසු සේවා ඇතුළුව ඉංජිනේරු විසඳුම් සහ තාක්ෂණික පුහුණුව ලබා දීම දක්වා මෙරට මෝටර් රථ ක්ෂේත්‍රය නිර්මාණය කිරීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කර ඇත. ප්‍රජාවන්හි සිහින හා අභිලාෂයන් බලගැන්වීමේ අරමුණින් කටයුතු කරන සමාගමක් ලෙස, DIMO රටේ තරුණ තරුණියන්ට සහාය දැක්වීම කෙරෙහි දැඩි උනන්දුවක් දක්වයි. ගෝලීය මට්ටමේ තාක්‍ෂණික පුහුණුව, සමාගමේ පුහුණු මධ්‍යස්ථානය වන DIMO ඇකඩමිය (DIMO Academy) හරහා පිරිනමමින් ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ට මෝටර් රථ ක්ෂේත්‍රයේ සිය සිහින වෘත්තිය කරා යාමට DIMO අවස්ථාව ලබා දී තිබේ. දේශීය විශ්වවිද්‍යාල වල සිසුන්ගේ  විවිධ විශේෂ ව්‍යාපෘති සහ මෝටර් රථ ධාවන වැඩසටහන් සඳහා DIMO,  විශේෂඥ දැනුම හා සම්පත් බෙදා දීමෙන්, තරුණ දක්ෂතා සවිබල ගැන්වීම සහ ඒ තුළින් දේශීය මෝටර් රථ කර්මාන්තයේ දියුණුවට දායක වේ. ජාත්‍යන්තර මෝටර් රථ ධාවන අංශය තුළ ශ්‍රී ලාංකික නාමය සනිටුහන් කිරීමට යෙවාන් සමඟ ඇරඹි මෙම හවුල්කාරිත්වය ඉවහල් වනු ඇතැයි DIMO අපේක්ෂා කරයි.

මෙම සහයෝගීතාවය මෝටර් රථ ධාවන ක්ෂේත්‍රයට පමණක් සීමා නොවන අතර ජාත්‍යන්තර අවකාශය තුළ ශ්‍රී ලංකාවේ කිර්තිනාමය ඉහලට ගෙන ඒමේ  ජාතික දැක්ම සාක්ෂාත් කිරීමට අත්වැල් සපයයි. එපමණක් නොව මේ ඔස්සේ නිසැකවම මෙරට දක්ෂ තරුණ තරුණියන්ට කිසිදු සීමාවකින් තොරව තම සිහින හඹා යාමට හැකි බව ද මෙහිදී මැනවින් පෙන්නුම් කරනවා.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *