DIMO, සිය Tata මගී වාහන ප්‍රදර්ශනාගාර ව්‍යාප්තිය පුළුල් කරමින් සිය නවතම ප්‍රදර්ශනාගාරය කොළඹ Altair හි විවෘත කරයි

Tata Motors සඳහා මෙරට එකම බලයලත් බෙදාහරින්නා ලෙස කටයුතු කරන DIMO,  සිය  නවතම Tata මගී වාහන ප්‍රදර්ශනාගාරය පසුගියදා කොළඹ Altair හි දී විවෘත කරනු ලැබීය. මෙම විවෘත කිරීම, මෑතකදී එළිදක්වන ලද Tata මගී වාහන පෙළ සඳහා ලද ඉහළ පාරිභෝගික ප්‍රතිචාරයට අනුව සිය ප්‍රදර්ශනාගාර ජාලය පුළුල් කිරීමට DIMO දරන උත්සාහයේ කොටසක් වන අතර කොළඹ නගරය තුළ පාරිභෝගික ප්‍රවේශය තවදුරටත් වැඩි දියුණු කිරීමට ද මෙය හේතු වේ.

කොළඹ Altair හි නවතම ප්‍රදර්ශනාගාරය පාරිභෝගික ජනතාවට ළඟාවීමට පහසු ස්ථානයක ස්ථාපිත වීම ඔස්සේ Tata මගී වාහන පිළිබඳ පාරිභෝගික අත්දැකීම වැඩිදියුණු කිරීමට එය උපකාරී වනු ඇත.

Tata මගී වාහන ප්‍රදර්ශනාගාර රට පුරා ව්‍යාප්ත කිරීම  හරහා පාරිභෝගික පහසුව පිළිබඳ අවධානය යොමු කරමින් උපායමාර්ගිකව තෝරාගත් කුරුණෑගල, ගාල්ල සහ මින්නේරිය යන ප්‍රදේශවල ද නව ප්‍රදර්ශනාගාර DIMO දැනටමත් විවෘත කර ඇත. මෙම  සෑම ස්ථානයක්ම තෝරා ගැනීමේ දී ප්‍රවේශ වීමේ පහසුව සහ වෙළෙඳපල හැකියාව යන කරුණු සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් යොමු වූ අතර කොළඹ ප්‍රදර්ශනාගාරය ප්‍රමුඛතම මධ්‍යස්ථානය වේ. එමෙන්ම කුරුණෑගල සහ ගාල්ල යන  ප්‍රදේශවල විවෘත කරන ලද  ප්‍රදර්ශනාගාර මඟින් එම දිස්ත්‍රික්ක අවට ප්‍රදේශයන්හි පාරිභෝගික ජනතාව වෙත පහසුවෙන් ප්‍රවේශ වීමේ හැකියාව සපයයි.

මේ පිළිබඳ අදහස් දක්වමින් DIMO හි මගී වාහන අලෙවි  අංශයේ සාමාන්‍යාධිකාරී තරංග ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ “මඩකලපුව, මහනුවර සහ යාපනය යන ප්‍රදේශවල ද ඉදිරියේ දී DIMO සහ Tata එක්ව ප්‍රදර්ශනාගාර විවෘත කිරීමට බලාපොරොත්තු වන බවයි. “දිවයින පුරා සිටින සෑම ශ්‍රී ලාංකිකයෙකුටම පෞද්ගලික වාහනයක් වෙත යොමුවීමට ඇති හැකියාව ඉහළ නැංවීම සඳහා DIMO හි දිගු කාලීන කැපවීම මේ තුළින් මැනවින් පසක් වෙනවා” යනුවෙන් ද ඔහු වැඩිදුරටත් පැවසීය.

රට තුළ ව්‍යාප්තිය පිළිබඳ පමණක් නොව Tata සහ DIMO විසින් Tata වාහන හිමිකරුවන්ගේ පහසුව කෙරෙහි ද විශේෂ අවධානයක්  යොමු කර ඇත. ඒ අනුව සියලුම ශාඛාවල අලෙවියෙන් පසු සේවා කටයුතු පුළුල් කිරීම, තාක්ෂණික කාර්ය මණ්ඩල පුහුණුව, විද්‍යුත් වාහන ආරෝපණ ඒකක (EV Charging Units) සහ නියම Tata අමතර කොටස් ලබා ගැනීම සඳහා පහසුකම් සැලසීම,  මූල්‍ය සමාගම්  සමඟ  හවුල්කාරීත්වයන්ට පිවිසෙමින් නම්‍යශීලී මූල්‍ය විසඳුම් හඳුන්වාදීම ඇතුළු සේවාවන් රැසක් ක්‍රියාවට නංවා ඇත. තවද, පාරිභෝගිකයන් වෙත කඩිනම් ප්‍රතිචාර සහ සහාය ලබාදීම සඳහා විශේෂ ක්ෂණික ඇමතුම් අංකයක් ද DIMO විසින් හඳුන්වා දී තිබේ.

මාස කිහිපයකට ඉහත දී වෙළෙඳපලට හඳුන්වාදෙන ලද Tata මගී වාහන පෙළ සඳහා මේ වන විට ඉහළ පාරිභෝගික ආකර්ෂණයක් හිමි වී ඇති අතර ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන පාරිභෝගික සංඛ්‍යාව සහ විමසීම් ප්‍රමාණය ද දිනෙන් දින වර්ධනය වී තිබේ. මෙම Tata මගී රථ වාහන පෙළ සතු ඉහළ ගෝලීය NCAP ශ්‍රේණිගත කිරීම්  නිසා මගී ආරක්‍ෂාව තහවුරු වන අතර  මෙම රථ සතු කාලයට ගැළපෙන බාහිර පෙනුම සහ උසස් තාක්‍ෂණය පාරිභෝගිකයන්ගේ  සිත් දිනා ගැනීමට සමත් වී ඇත.

ශ්‍රී ලංකාවේ වාහන ආනයන කටයුතු නැවත ආරම්භ වීමත් සමඟ, DIMO විසින් Tata මගී වාහන ප්‍රදර්ශනාගාර ව්‍යාප්තිය පුළුල්  කිරීම තුළින් වර්ධනය වන පාරිභෝගික ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදීම, පහසු ප්‍රවේශ හැකියාවන් ඉහළ නැංවීම සහ සන්නාමය පිළිබඳ මනා අත්දැකීමක්  පාරිභෝගිකයා වෙත සමීප කරවීම සිදුවනු ඇත. පාරිභෝගිකයා කේන්ද්‍ර කරගත් ප්‍රවේශයන් ඔස්සේ  Tata සහ DIMO  ශ්‍රී ලංකාවේ පෞද්ගලික ප්‍රවාහන ක්ෂේත්‍රයේ අනාගතයට නව අරුතක් එකතු කරයි.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *