ඇන්කර් කිරි දේශීය ප‍්‍රමිතීන්ට අනුකූල බවට ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය තහවුරු කරයි

ඇන්කර් සම්පූර්ණ යොදය සහිත කිරිපිටි, ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක වන දේශීය ප‍්‍රමිතියට සම්පූර්ණයෙන්ම අනුකූල බවට ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය මගින් නැවත වරක් තහවුරු කර තිබේ. නවසීලන්තයේදී ඇන්කර් කිරිපිටි නිෂ්පාදන ක‍්‍රියාවලිය සම්බන්ධයෙන් සිදුකරන ලද පූර්ණ විගණන පරීක්ෂාවකින් අනතුරුව එම ආයතනය මෙම නිගමනයට එළඹී ඇත.

කිරිපිටි සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාවේ දේශීය ප‍්‍රමිතිය ලෙස ක‍්‍රියාත්මක වන SLS 731 ප‍්‍රමිතීන්ට අනුකූල නිෂ්පාදන ශ‍්‍රී ලංකාවට අපනයනය කිරීම සඳහා ඇන්කර් නිපදවන ෆොන්ටෙරා සමාගම සෑම පියවරක්ම ගෙන ඇති බවට මෙම විගනණයෙන් පසුව ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනයේ පරීක්ෂණ කණ්ඩායම නිගමනය කර ඇත.

ආනයනය කරනු ලබන නිෂ්පාදන SLS 731 ප‍්‍රමිතීන්ට අනුකූල වන්නේදැයි පරීක්ෂා කිරීම සඳහා ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනයේ රසායනාගාරයේදී සිදුකරන ආනයනික කිරිපිටි පරීක්ෂණ හැරුණු විට, කිරිපිටිවලට බාහිර ද්‍රව්‍ය මිශ‍්‍ර වී නොමැති බව තහවුරු කරගැනීම සඳහා ජාත්‍යන්තර වශයෙන් පිළිගත් රසායනාගාරවලදී පවා ඒවා පරීක්ෂාවන්ට ලක්කිරීමටද ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය පියවර ගෙන ඇත.

ඉහත සඳහන් විගණනයන් සහ පරීක්ෂණවල ප‍්‍රතිඵල අනුව, පාම් ඔයිල් වැනි බාහිර ද්‍රව්‍ය මිශ‍්‍ර නොකෙරෙන බවත්, ෆොන්ටෙරා සමාගම මගින් නිෂ්පාදනය කර ශ‍්‍රී ලංකාවට එවනු ලබන සම්පූර්ණ යොදය සහිත කිරිපිටිවල අඩංගු වන්නේ කිරි මේදය පමණක් බවත් ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනයේ පරීක්ෂණ කණ්ඩායම තහවුරු කර ඇත.

ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය සිද්ධිකා ජී. සේනාරත්න මහත්මිය පැවසුවේ ජාතික ප‍්‍රමිති ආයතනය ලෙස තම මූලික අරමුණ වනුයේ ශ‍්‍රී ලාංකිකයන් තම ආයතනය සම්බන්ධයෙන් තබා ඇති විශ්වාසය අඛණ්ඩව ආරක්ෂා වන ආකාරයට කටයුතු කිරීම බවයි.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *