ජෝසප් ෆ්‍රේසර් රෝහල සිය නවීකරණය කරන ලද NICU ඒකකය හඳුන්වා දෙයි

බිළිඳකුගේ උපත සතුටුදායක මොහොතක් වුවද, බොහෝ දෙමව්පියන්ට තම දරුවා වෙනුවෙන් නවජ දැඩි සත්කාර ඒකකයක (NICU) සහාය ලබා ගැනීමට සිදු වීම, යම් කාන්සාවක් සහ අවිනිශ්චිතතාවයක් ඇති කිරීමට හේතු විය හැකිය. මෙම තීරණාත්මක මොහොතේ දී පවුල්වලට අවශ්‍ය වන්නා වූ වෛද්‍යමය මෙන්ම මානසික සහාය හඳුනාගනිමින්, ජෝසප් ෆ්‍රේසර් රෝහල සිය නවජ දැඩි සත්කාර ඒකකය (NICU) තවදුරටත් පුළුල් කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව, නවීනතම නවජ තාක්ෂණය සමඟින් වඩාත් පුද්ගලීකරණය කළ පවුල් මූලික කරගත් සත්කාරක ක්‍රමවේදයක් හඳුන්වා දීමට රෝහල කටයුතු කර තිබේ.

මෙම සුවිශේෂී පියවර පිළිබඳව අදහස් දක්වමින් වෛද්‍ය සේවා ප්‍රධානී වෛද්‍ය දිල්රුක්ෂි සයියක්කාර මහත්මිය ප්‍රකාශ කළේ, සායනික විශිෂ්ටත්වය සහ දෙමව්පියන්ගේ සහභාගීත්වය එකට එක් කිරීම මෙම නවීකරණය කරන ලද NICU ඒකකයේ මූලික දැක්ම බවයි. “බිළිඳා සුවපත් වීමේ ගමනේ දී දෙමව්පියන්ගේ දායකත්වය අත්‍යවශ්‍ය සාධකයක් බැවින්, ආරම්භයේ සිටම ඔවුන්ව මේ සඳහා සක්‍රීයව සම්බන්ධ කර ගැනීමට හැකි වන පරිදි මෙම ඒකකය නිර්මාණය කර තිබෙනවා. නවීන උපකරණ සහ යටිතල පහසුකම් සඳහා කරන ලද ආයෝජනයන් හරහා අපගේ කුඩාම රෝගීන් වෙනුවෙන් වඩාත් ආරක්ෂිත සහ කඩිනමින් ප්‍රතිචාර දැක්විය හැකි පරිසරයක් නිර්මාණය කර තිබෙනවා. සියල්ලටම වඩා, මෙම ඒකකය හරහා මව්වරුන් වෙනුවෙන් පුද්ගලීකරණය කළ සත්කාර ලබා දීමේ අපගේ පොරොන්දුව නිරුපණය කරනවා. මෙහිදී සත්කාර ලැබූ බිළිඳුන්ගේ මව්වරුන්, තමන්ට දැනුණු පීඩනය අවම වූ බවත් සුවපත් වීමේදී වැඩි විශ්වාසයක් දැනුණු බවත් ප්‍රකාශ කර තිබෙනවා. එමෙන්ම බිළිඳා මවගෙන් වෙන් කිරීම නිසා ඇතිවන මව්කිරි දීමේ අපහසුතා ද මෙහිදී අවම වී තිබෙනවා.” යනුවෙන් ඇය තවදුරටත් ප්‍රකාශ කළාය.

නවීකරණය කරන ලද මෙම NICU ඒකකය, විශේෂිත වෛද්‍ය අවධානයක් අවශ්‍ය වන නොමේරූ සහ ඉහළ අවදානමක් සහිත බිළිඳුන් වෙනුවෙන් නවීනතම නවජ තාක්ෂණයෙන් සමන්විත වේ. මෙයට ශ්වසන අපහසුතා ඇති බිළිඳුන් සඳහා වන උසස් වෙන්ටිලේටර් සහ ශ්වසන ආධාරක පද්ධති, බිළිඳාගේ වැදගත් ජීව ලක්ෂණ ඉතා නිවැරදිව හා අඛණ්ඩව නිරීක්ෂණය කළ හැකි පද්ධති සහ බිළිඳාගේ ශරීර උෂ්ණත්වය මනාව පාලනය කරමින් උපරිම ආරක්ෂාව සපයන නවීනතම ඉන්කියුබේටර් ඇතුළත් වේ.

පළපුරුදු විශේෂඥ නවජ රෝග වෛද්‍යවරුන්ගේ මඟපෙන්වීම සහ සෑම බිළිඳෙකු සඳහාම වෙන්වූ එක් හෙද නිලධාරිනියක බැගින් ලබා දෙන සුවිශේෂී සත්කාරය හරහා, වඩාත් තීරණාත්මක අවස්ථාවන්හි දී පවා සෑම බිළිඳෙකුටම අඛණ්ඩ නිරීක්ෂණය සහ කඩිනම් වෛද්‍ය මැදිහත්වීම් ලැබෙන බව මෙම ඒකකය සහතික කරයි.

මෙම නව පහසුකම්වල ඇති සුවිශේෂීම අංගය වන්නේ පවුල් මූලික කරගනිමින් ඔවුන්ගේ අවශ්‍යතාවයට සරිලන ලෙස සත්කාර ලබාදීමේ ක්‍රමවේදයයි. දෙමව්පියන්ට දරුවා සමඟින් රැඳී සිටීමට ඇති අවස්ථාවන් සීමා සහිත වන සාම්ප්‍රදායික NICU පරිසරයෙන් ඔබ්බට යමින්, තම බිළිඳාගේ මුල්ම සත්කාරක ක්‍රියාවලියට සමීපව සම්බන්ධ වීමට දෙමව්පියන්ට ඉඩ සලසන ක්‍රමවේදයක් රෝහල හඳුන්වා දී ඇත. වෛද්‍යමය වශයෙන් උචිත අවස්ථාවන්හි දී, බිළිඳා දැඩි වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන අතරතුරදීම මවට සමීප වන පරිදි ඉන්කියුබේටරය තැබීමට අවස්ථාව සලසා දෙන අතර, එමගින් මව සහ බිළිඳා අතර මුල්කාලීන බැඳීම සහ චිත්තවේගීය සම්බන්ධතාවය පවත්වා ගැනීමට මග පාදයි.

මෙම NICU ඒකකය නවීකරණය කිරීම, රෝහලේ මාතෘ සහ නවජ සත්කාරක සේවාවන් සමස්තයක් ලෙස ඉහළ නැංවීමේ පුළුල් වැඩපිළිවෙළක එක් පියවරකි. වඩාත් සමීප නිරීක්ෂණ අවශ්‍ය වන මව්වරුන් සඳහා වන පූර්ණ පහසුකම් සහිත අධි සත්කාර ඒකකය (HDU), රුධිර බැංකුව, සාමාන්‍ය දරු ප්‍රසූති සඳහා වන නවීන පහසුකම් සහිත ප්‍රසූති කාමර සහ සිසේරියන් ඇතුළු අනෙකුත් ප්‍රසව ශල්‍යකර්ම සඳහා වන උසස් ශල්‍යාගාර පද්ධතිය ද මෙයට ඇතුළත් වේ.

උසස් වෛද්‍ය විශේෂඥතාව සහ සහකම්පනයෙන් යුත් පවුල් මූලික කරගත් සත්කාරය ඒකාබද්ධ කරමින්, මාතෘ සහ නවජ සෞඛ්‍ය සේවාවේ පූර්ණ පහසුකම් සහිත මධ්‍යස්ථානයක් ලෙස ජෝසප් ෆ්‍රේසර් රෝහල සිය නාමය තවදුරටත් ශක්තිමත් කරයි.

අවසානයි

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *