කේම්බ්‍රිජ්, ශ්‍රී ලංකාවේ සිසුන් සහ ගුරුවරුන් සඳහා ලබාදෙන සහයෝගය තවදුරටත් ශක්තිමත් කරයි

‘අනාගතය මෙහෙයවීම: වෙනස්වන ලෝකයක සාර්ථක වීම සඳහා සිසුන් සූදානම් කිරීම’ යන තේමාව යටතේ අනාගතයට සරිලන ලෙස සිසුන් සූදානම් කිරීම පිළිබඳ තොරතුරු ඇතුළත් වාර්තාව එළිදක්වයි

Cambridge University Press & Assessment විසින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතිය වැඩිදියුණු කිරීමේ සිය දිගුකාලීන සැලැස්මේ එක් අදියරක් ලෙස, කලාපය තුළ ඔවුන්ගේ පැවැත්ම ශක්තිමත් කරන බව සහ ශ්‍රී ලංකාව කෙරෙහි නව උපායමාර්ගික අවධානයක් යොමු කරන බව ප්‍රකාශයට පත් කරමින්, මෙරට සිසුන් සහ ගුරුවරුන් සඳහා වන සිය කැපවීම නැවත තහවුරු කර තිබේ.ශ්‍රී ලංකාවේ නීත්‍යානුකූල ආයතනයක් පිහිටුවීම තුළින් කේම්බ්‍රිජ් සමාගම රට තුළ දිගුකාලීන ආයෝජනයන් සිදු කරන බව පෙන්නුම් කෙරෙන අතර දේශීය සිසුන්ගේ සහ ගුරුවරුන්ගේ අවශ්‍යතා වඩා හොඳින් සපුරාලීම සඳහා පාසල් සහ හවුල්කාර ආයතන සමඟ වඩාත් සමීපව කටයුතු කිරීමට ද එමඟින් අවස්ථාව හිමිවේ.

මෙම නිවේදනය, ජාත්‍යන්තර අධ්‍යාපන සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ රොඩ් ස්මිත්, දකුණු ආසියාවේ කළමනාකාර අධ්‍යක්ෂ අරුන් රාජමනී සහ ශ්‍රී ලංකාව හා මාලදිවයින යන රටවල් සඳහා ප්‍රධානී සහරා අන්සාරි ඇතුළු කේම්බ්‍රිජ් හි ගෝලීය හා කලාපීය නායකයින්ගේ සහභාගීත්වයෙන් ප්‍රකාශයට පත්කෙරිණි. මෙම සම්භාවනීය අමුත්තන්ගේ පැමිණීම, සිය ජාත්‍යන්තර ජාලය තුළ කේම්බ්‍රිජ් විසින් ශ්‍රී ලංකාව කෙරෙහි දක්වන ගෝලීය අවධානය සහ උපායමාර්ගික වැදගත්කම ඉස්මතු කරයි.

කේම්බ්‍රිජ් හි දකුණු ආසියානු කළමනාකාර අධ්‍යක්ෂ අරුන් රාජමනී මහතා අදහස් දක්වමින්, “මෙම සුවිශේෂී අවස්ථාව ශ්‍රී ලංකාව පුරා සිටින සෑම සිසුවෙක් සහ ගුරුවරයෙක් වෙනුවෙන්ම කේම්බ්‍රිජ් සිදුකරන කැපවීම පෙන්නුම් කරනවා වගේම කේම්බ්‍රිජ් හි දකුණු ආසියානු උපායමාර්ගයේ සුවිශේෂ ස්ථානයක් ශ්‍රී ලංකාවට හිමිවන බව ද පෙන්නුම් කරනවා. සිසුන් දේශීයව මෙන්ම ජාත්‍යන්තරව ද සාර්ථක වීම සඳහා අවශ්‍ය ශක්තිමත් ඉගෙනුම් පද්ධතියක් ගොඩනැඟීමට අවධානය යොමු කරමින් උසස් තත්ත්වයේ ඉගැන්වීම්, ඉගෙනුම් සහ ඇගයීම් ක්‍රියාවලියකට සහාය දැක්වීම, අපගේ වර්ධනය වන පැවැත්ම මනාවට පිළිබිඹු කරනවා” යනුවෙන් පැවසීය.

ශ්‍රී ලංකාව සහ මාලදිවයින යන රටවල් සඳහා ප්‍රධානී සහරා අන්සාරි මහත්මිය මෙලෙස පැවසුවාය. “ශ්‍රී ලංකාව, ජවසම්පන්න හා වේගයෙන් සංවර්ධනය වන අධ්‍යාපන ප්‍රජාවක් සිටින රටක්. කේම්බ්‍රිජ් හි මෙම නව කැපවීම, ශ්‍රී ලංකාවේ පාසල්, ගුරුවරුන් සහ පවුල්වලට සහාය වීමට සහ මෙහි සිටින සෑම සිසුවෙකුටම ලොව පුරා ඇති හොඳම අධ්‍යාපන අවස්ථා සඳහා ප්‍රවේශය ලැබෙන බව සහතික කිරීමේ පොරෝන්දුවකි.”

ජාත්‍යන්තර අධ්‍යාපනය තුළින් සිසුන් සවිබල ගැන්වීම

Cambridge, දකුණු ආසියාව පුරා පාසල් 1,000කට අධික සංඛ්‍යාවක් සමඟ එක්ව කටයුතු කරමින් ශ්‍රී ලංකාව එහි ජාත්‍යන්තර අධ්‍යාපන වැඩසටහන් මෙහෙයවන ප්‍රධාන රටක් ලෙස ස්ථාපිත කර ඇත.

කොළඹ දී පැවති ‘Cambridge in Sri Lanka: Leading the Future’ උත්සවයේ දී, ජාත්‍යන්තර අධ්‍යාපන සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ රොඩ් ස්මිත් මහතා, ‘Navigating the Future: Preparing Learners to Thrive in a Changing World’ නමින් හඳුන්වන නව වාර්තාව පිළිබඳව කරුණු සාකච්ඡා කළේය. ලොව පුරා ගුරුවරුන් 3,201 දෙනෙකුගෙන් සහ සිසුන් 3,840 දෙනෙකුගෙන් ලබා ගත් ප්‍රතිචාර මත පදනම් වූ මෙම වාර්තාව, වේගයෙන් වෙනස් වන ලෝකයක් සඳහා සිසුන්ට අවශ්‍ය වන කුසලතා සහ ඒවා දියුණු කිරීමේ ඇති අභියෝග පිළිබඳව විමසා බලයි. සිසුන් සහ ගුරුවරුන් යන දෙපිරිසම ඉගෙනුම් ක්‍රියාවලිය වැඩිදියුණු කිරීමට ඩිජිටල් තාක්ෂණයට ඇති හැකියාව හඳුනාගෙන ඇති අතර, ඒ සමඟම අවධානය වෙනතකට යොමු වීම සහ විචාරාත්මක චින්තනයට හා සන්නිවේදන කුසලතාවලට ඇතිවන බලපෑම් පිළිබඳව ද අවධානය යොමු කර ඇත. මෙම වාර්තාව අනාගතයට ගැළපෙන ඉගෙනුම් ක්‍රම සකස් කරන ගුරුවරුන්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ ආයතන විසින් භාවිතා කිරීමට අදහස් කෙරේ.

ගුරුවරුන්ගේ වෘත්තීය සංවර්ධනය ශක්තිමත් කරමින්, ජාත්‍යන්තරයට සරිලන ලෙස සිසුන් සූදානම් කිරීමට පාසල් සඳහා සහාය වීම

කේම්බ්‍රිජ්, සිය වෘත්තීය සංවර්ධන සුදුසුකම් (PDQs), වෘත්තීය සංවර්ධන වැඩසටහන් (PDPs) සහ ගුරුවරුන්ගේ කුසලතා වැඩිදියුණු කිරීමට උපකාර වන පුහුණු වැඩමුළු හරහා ගුරුවරුන්ගේ දැනුම සහ හැකියාවන් ඉහළ නැංවීමට මෙන්ම සිසුන්ගේ ඉගෙනුම් ප්‍රතිඵල වැඩිදියුණු කිරීමට ද උපායමාර්ගික ක්‍රමවේදයක් අනුගමනය කරයි.

මෙම පුහුණු වැඩසටහන් සිසුවා කේන්ද්‍ර කරගත් ඉගැන්වීම් ක්‍රමවේදයන්, පන්තිකාමර තුළ තාක්ෂණය හා කෘත්‍රිම බුද්ධිය (AI) ඵලදායීව භාවිත කිරීම සහ සිසුන්ගේ යහපැවැත්ම, නායකත්වය සහ සමාජ චිත්තවේගීය ඉගෙනීම් ඇතුළත් පරිපූර්ණ සංවර්ධනයක් කෙරෙහි අවධානය යොමු කරයි. ගුරුවරුන් මෙම හැකියාවන්ගෙන් සන්නද්ධ කිරීම තුළින්, රටේ අධ්‍යාපන පද්ධතියේ වෙනසක් කළ හැකි සහ අනාගතයට ගැළපෙන ශක්තිමත් ගුරු බලකායක් ගොඩනැඟීමට කේම්බ්‍රිජ් අපේක්ෂා කරයි.

කුසලතාවයක් වශයෙන් ඉංග්‍රීසි භාෂා දැනුම ලබාගැනීමේ අවස්ථා පුළුල් කිරීම

සිය විෂය මාලාවට සහ සුදුසුකම්වලට අමතරව, කේම්බ්‍රිජ් ඉංග්‍රීසි සඳහා ශ්‍රී ලංකාවේ ඉහළ ඉල්ලුමක් පවතින අතර, වාර්ෂිකව සිසුන් 40,000කට අධික සංඛ්‍යාවක් විභාග සඳහා පෙනී සිටී. කුඩා නගර සහ ග්‍රාමීය ප්‍රදේශ ඇතුළුව දිවයින පුරා පිහිටි ලියාපදිංචි මධ්‍යස්ථාන 250කට අධික ප්‍රමාණයකින්, මෙම විභාග සඳහා ප්‍රවේශය ලබා ගත හැකි අතර සිසුන්ගේ අධ්‍යාපන හා වෘත්තීය දියුණුව සඳහා ඉංග්‍රීසි ප්‍රවීණතාව ලබාගැනීමට මෙය මහඟු අවස්ථාවකි. ගෝලීය වශයෙන්, Cambridge English Qualifications (CEQs) විභාග මිලියන 5 කට අධික ප්‍රමාණයක් රටවල් 130කදී වාර්ෂිකව පවත්වනු ලබන අතර, විශ්වවිද්‍යාල, සේවා යෝජකයින් සහ රාජ්‍ය ආයතන 25,000කට අධික සංඛ්‍යාවක් විසින් ඒවා පිළිගනු ලැබේ. CEQs නිර්මාණය කර ඇත්තේ සිසුන්ට කියවීමේ, ලිවීමේ, සවන් දීමේ, සහ කතා කිරීමේ ශක්තිමත්, දිගුකාලීන කුසලතා වර්ධනය කර ගැනීමට උපකාර කිරීම සඳහා ය. මෙම කුසලතා සිසුන්ගේ ජීවිත කාලය පුරාම ප්‍රයෝජනවත් වන වටිනා ප්‍රතිලාභයක් බවට පත් කරයි.

කේම්බ්‍රිජ් හි AI තාක්ෂණයෙන් බලගැන්වූ නම්‍යශීලී මාර්ගගත ඉංග්‍රීසි පරීක්ෂණය වන Linguaskill, CEFR රාමුවට අනුකූලව කඩිනම් හා විශ්වාසනීය ප්‍රතිඵල සපයයි. ගෝලීය වශයෙන් පිළිගත් මෙය, ශ්‍රී ලාංකික ආයතන සහ සංවිධාන සඳහා බඳවා ගැනීම්, ඇතුළත් කිරීම් සහ පුහුණු කටයුතු සඳහා නවීන, අනුවර්තන මෙවලමක් ලෙස භාවිත කළ හැකිය.

සමස්තයක් ලෙස, මෙම ඇගයීම් මගින් ආත්ම විශ්වාසයෙන් යුතු සන්නිවේදකයින්, විචාරාත්මක චින්තකයින් සහ දේශීය මෙන්ම ගෝලීය වශයෙන් සාර්ථක වීමට සූදානම් පුද්ගලයන් බිහි කිරීම කෙරෙහි අවධානය යොමු කරයි.

දේශීය අවශ්‍යතා සඳහා නවෝත්පාදන ක්‍රියාමාර්ග

ශ්‍රී ලාංකේය පවුල්වල වෙනස් වන අපේක්ෂාවන් හඳුනා ගනිමින්, දේශීය හැකියාවන් නංවාලීම සඳහා කේම්බ්‍රිජ් ආයතනය සතුව  විශේෂිත කණ්ඩායමක් ඇත. දකුණු ආසියාව තුළ සිය ව්‍යාප්තිය පුළුල් කරන අතරම සිසුන්ගේ සමස්ථ සංවර්ධනය, දීර්ඝකාලීන අධ්‍යාපනය සහ ජාත්‍යන්තර ජය ගැනීම උදසා අවශ්‍ය සහාය ලබාදීමට ද කේම්බ්‍රිජ් කැපවී සිටී. මීට අමතරව, නව්‍ය වැඩසටහන්, උසස් ඇගයීම් ක්‍රම සහ අවස්ථාවට ගැළපෙන සම්පත් සැපයීම තුළින් ශ්‍රී ලාංකේය සිසුන්ගේ හා ගුරුවරුන්ගේ අවශ්‍යතාවලට සරිලන වැඩසටහන් හඳුන්වා දීමටත්, දේශීය සහ ගෝලීය අපේක්ෂාවන් සපුරාලන අධ්‍යාපන අවස්ථා විවර කිරීමටත් කේම්බ්‍රිජ් අඛණ්ඩව කටයුතු කරයි.

නව ආයෝජන සමඟින්, සිසුන්ට සහාය වීම, ගුරුවරුන් සවිබල ගැන්වීම සහ ගෝලීය වශයෙන් තරඟකාරී අධ්‍යාපන පද්ධතියක් නිර්මාණය කිරීම සඳහා ප්‍රතිපත්ති සම්පාදකයින් සමඟ එක්ව කටයුතු කිරීම මගින් ශ්‍රී ලංකාවේ සිය ව්‍යාප්තිය පුළුල් කිරීමට කේම්බ්‍රිජ් අපේක්ෂා කරයි.

සිය උරුමය, කීර්ති නාමය සහ වර්ධනය වන දේශීය පැවැත්ම තුළින්, Cambridge University Press & Assessment ශ්‍රී ලංකාවේ විශ්වාසනීය අධ්‍යාපන සහකරුවෙකු ලෙස සිය භූමිකාව යළිත් තහවුරු කරයි.

කේම්බ්‍රිජ් පිළිබඳව

Cambridge University Press & Assessment ඇගයීම්, අධ්‍යාපන, පර්යේෂණ සහ අධ්‍යයන ප්‍රකාශන ක්ෂේත්‍රවල ලොව ප්‍රමුඛතම සංවිධානවලින් එකකි. එය, කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ කොටසක් වන අතර, එහි ‘ඉහළම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව අධ්‍යාපනය, ඉගෙනීම සහ පර්යේෂණ ප්‍රවර්ධනය කිරීමෙන් සමාජයට උපකාර කිරීම’ යන මෙහෙවරම අනුගමනය කරයි. කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලය සමඟ ඇති මෙම ශක්තිමත් සම්බන්ධතාවය නිසා, පර්යේෂණ, ජාත්‍යන්තර අධ්‍යාපනය, ඉංග්‍රීසි භාෂා ඉගෙනීම සහ අධ්‍යයන ප්‍රකාශනය වැනි ක්ෂේත්‍රයන්හි අද්විතීය හා අසමසම අත්දැකීම් සම්භාරයක් සංවිධානය සතුවේ.

වැඩි විස්තර සඳහා www.cambridgeinternational.org වෙත පිවිසෙන්න.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *