දකුණු ආසියාවේ ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය වන FACETS Sri Lanka හි 31 වන ප්‍රදර්ශනය පිළිබඳ ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය (SLGJA) විසින් පසුගියදා ප්‍රකාශයට පත් කරන ලදී. 2025 වසරේ ජනවාරි 04 සිට 06 දක්වා කොළඹ Cinnamon Grand හිදී පැවැත්වීමට නියමිත එම ප්‍රදර්ශනය මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය සඳහා අන්තර්ජාතික වේදිකාවක් වන අතර, ලොව පුරා සිටින සුප්‍රසිද්ධ තොග මැණික් අලෙවිකරුවන් ,මැණික් ව්‍යාපාරිකයන්, මැණික් තාක්ෂණික ශිල්පීන් සහ විනෝදාංශයක් ලෙස මැණික් එකතු කරන්නන් හටද මෙය කදිම පිටිවහලක් වනු ඇත.
ඉතිහාසය පුරාවට වර්ණවත් මෙන්ම ඉහළ වටිනාකමක් සහිත මෙරට මැණික් හා ස්වර්ණාභරණ පිළිබඳ අභිමානවත් උරුමය උත්කර්ෂවත්ව ප්‍රදර්ශනය කරන සුවිශේෂී අවස්ථාවක් ලෙස FACETS ප්‍රදර්ශනය හැඳින්විය හැකිය. ගෝලීය වශයෙන් ශ්‍රී ලංකාවේ මැණික් සඳහා ලැබී ඇති මෙම සුවිශේෂී වටිනාකම කෙරෙහි සමකාලීන ප්රවණතා සහ ගැඹුරු සංස්කෘතික බලපෑම් සමඟ මුසු වෙමින් සදාතනික සුන්දරත්වය ඉස්මතු කිරීමට මෙරට මැණික් තාක්ෂණික ශිල්පීන් දක්වන හැකියාව ප්‍රධාන සාධකයක් වී තිබේ.
FACETS Sri Lanka 2025 ඔස්සේ මෙවර Sapphire Night ඇතුළු විශේෂ අවස්ථාවන් රැසක් සංවිධානය කිරීමට අපේක්ෂා කරන අතර එය නව සබඳතා ගොඩ නගා ගැනීමට උපයෝගි වන ආකර්ෂණීය අවස්ථාවක් වනු ඇත. එමෙන්ම මේ අවස්ථාව සඳහා සහභාගි වන්නන්ට කර්මාන්තයේ භාවිතයන් සහ එහි දිගුකාලීන ඉතිහාසය පිළිබඳ ද ගවේෂණය කිරීමට අවස්ථාව උදාවනු ඇත. සුහද සංග්‍රහයක් සමඟ මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්රයේ නියැළී සිටින කාන්තාවන් සවිබල ගැන්වීමට මෙන්ම මෙම ක්ෂේත්රය තුළ නව සබඳතා ගොඩනගා ගැනීම වෙනුවෙන් අවස්ථාව, මැණික් ගැරීම පිළිබඳ අත්දැකීමක් සමඟින් පතල් චාරිකාවක් සහ තවත් කරුණු රැසක් පිළිබඳ කර්මාන්තයේ ප්‍රවීණයන් සමඟ දැනුම හුවමාරු කර ගැනීමේ අවස්ථාව මෙන්ම කොළඹ ප්‍රමුඛතම ආයෝජනයක් සහ ප්‍රමුඛතම ආර්ථික කේන්ද්‍රස්ථානයක් වන පෝට් සිටි වෙත සංචාරයක් ද මෙම ප්‍රදර්ශනයට ඇතුළත් වේ. මීට අමතරව මෙහි අතිරේක අවස්ථාවන් අතරට VIP ගොල්ෆ් තරඟාවලියක් ද අන්තර්ගත වන අතර සහභාගිවන්නන් සඳහා නැවුම් අත්දැකීම් රාශියක් පිරිනැමීමට සැලසුම් කර තිබේ
FACETS Sri Lanka හි ආරම්භක වර්ෂය වන 1991 වසරේ සිටම මෙරට මැණික් සහ ස්වර්ණාභරණ ක්ෂේත්රයේ වටිනාකම් අන්තර්ජාතික තලයට රැගෙන යන ප්‍රවේශයක් තනමින් මෙරට කීර්තිය ඔප් නැංවීමට දැවැන්ත මෙහෙවරක් ඉටු කර ඇත. ලොව පුරා සිටින ගැනුම්කරුවන් සහ ප්‍රදර්ශකයන් අඛණ්ඩව ආකර්ෂණය කර ගනිමින් කර්මාන්තය වෙත ඉහළ වටිනාකමක් සහ නිර්දේශයක් ලබාගැනීමට මෙම ප්‍රදර්ශනය මහඟු අවස්ථාවක් වී තිබේ.
ශ්‍රී ලංකාවේ අනාදිමත් කාලයක සිට පැවත එන උරුමය උත්කර්ෂවත්ව සමරමින් මෙරට මැණික් හා ස්වර්ණාභරණ අංශයේ ප්‍රධාන සන්ධිස්ථානයක් වන FACETS Sri Lanka 2025 වෙත සහභාගිවන්නන් සැමටම නව්‍ය අත්දැකීමක් ලබා දීමට බලාපොරොත්තු වේ. ප්‍රදර්ශනය සඳහා ලියාපදිංචි කිරීම දැන් විවෘතව ඇති අතර, වැඩිදුර තොරතුරු www.facetssrilanka.com වෙබ් අඩවිය ඔස්සේ හෝ FACETS Sri Lanka නිල Facebook සහ Instagram පිටුව ඔස්සේ ලබාගත හැකිය.