M Power Capital Securities සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට ලක්මාල් ජයරත්න මහතා පත් කෙරේ

M Power Capital Securities Limited (MSEC) සමාගම, සිය ප්‍රධාන විධායක නිලධාරී ලක්මාල් ජයරත්න මහතා 2025 අගෝස්තු 01 වන දින සිට සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කළ බව නිවේදනය කරයි. ඔහුගේ නායකත්වය යටතේ සමාගම ලබා ගත් කැපී පෙනෙන වර්ධනය සහ සාර්ථකත්වය කරා යන ගමනේ දී ඔහු ඉටු කළ කාර්යභාරය මෙම පත්වීම තුළින් අවධාරණය කෙරේ.

2023 අප්‍රේල් මාසයේ සිට ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළ ලක්මාල් ජයරත්න මහතා, MSEC සමාගමේ සේවාවන් පුළුල් කිරීම, වෙළඳපොළ පැවැත්ම ශක්තිමත් කිරීම සහ අනෙකුත් සමාගම් සහ සේවාදායකයින් සමඟ ශක්තිමත් සබඳතා ගොඩනඟා ගැනීම උදෙසා වැදගත් කාර්යභාරයක් ඉටු කළේය. ඔහුගේ උපායමාර්ගික නායකත්වය යටතේ, ප්‍රාග්ධන වෙළඳපොළවල්, ව්‍යුහගත මූල්‍ය සහ උපදේශන සේවා වැනි ක්ෂේත්‍රවල ප්‍රගතියක් අත්කර ගැනීමට සමාගම සමත්ව ඇති අතර ශ්‍රී ලංකාවේ මූල්‍ය අංශයේ ප්‍රමුඛයෙකු ලෙස එහි ස්ථානය සුරක්ෂිත කරමින්, දිගුකාලීන වර්ධනයක් සඳහා සමාගම ස්ථානගත කර ඇත.

පසුගිය වසර 3 තුළ, සමාගම් රැසක් සඳහා රුපියල් බිලියන 30කට අධික ආයතනික ණය ලබා ගැනීම සඳහා  අතරමැදි ආයතනයක් ලෙස සහය වී ඇති MSEC සමාගම, වර්තමානය වන විට ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ අනුමැතිය ලත් ආයතනික මූල්‍ය උපදේශකයෙකු සහ ආයෝජන කළමනාකරුවෙකු ලෙස සිය සේවාවන් ලබාදෙයි. තවද, MSEC සමාගම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (SME) එම්පවර් පුවරුවෙහි (Empower Board) ලැයිස්තුගත කිරීම සඳහා, ශ්‍රී ලංකා කොළඹ කොටස් හුවමාරුව විසින් අනුමත කර ඇති අනුග්‍රාහක ආයතනයකි.

මහජන බැංකුවේ ආයෝජන බැංකු කටයුතු ඒකකයේ සහකාර සාමාන්‍යාධිකාරීවරයෙකු ලෙස සේවය කිරීම ඇතුළුව මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ වසර 20කට වැඩි පළපුරුද්දක් ඇති ඔහුගේ උපායමාර්ගික තීක්ෂණ බුද්ධිය සහ තාක්ෂණික විශේෂඥතාවය M Power Capital හි සාර්ථකත්වයට අත්‍යවශ්‍ය වී ඇත. ඔස්ට්‍රේලියාවේ ෆෙඩරේෂන් විශ්වවිද්‍යාලයේ MBA උපාධියක් හිමි ඔහු, වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ

ගණකාධිකාරීවරයෙකු (FCMA,UK) වන අතර CPA Australia ආයතනයේ සහ ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ සාමාජිකත්වය දරයි.

ලක්මාල් මහතා අධ්‍යක්ෂවරයෙකු ලෙස පත් කිරීම මඟින් සමාගමේ උපායමාර්ගික දිශානතිය සහ පාලන රාමුව තවදුරටත් ශක්තිමත් කරනු ඇති බව එමඟින් තම සේවාදායකයින්ට සහ කොටස්කරුවන්ට නව නිර්මාණාත්මක උපාය මාර්ග සහ ප්‍රශස්ත ප්‍රතිලාභ අඛණ්ඩව ලබා දීමට හැකි වන බවත් අපගේ ආයතනය  විශ්වාස කරයි. අපි ඔහුට සුභ පතමු.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *