ශ්රී ලාංකේය මෝටර් රථ ක්ෂේත්රයේ ප්රමුඛතම නාමයක් වන Euro Motors සමාගම, සිය පාරිභෝගිකයින් වෙත සැපයෙන පසු අලෙවි සේවා පද්ධතිය තවදුරටත් ශක්තිමත් කරමින් දිවයින පුරා පිහිටි අලෙවි නියෝජිත සහ බලයලත් සේවා සපයන්නන් නිල වශයෙන් ඇගයීමට හා පත් කිරීමට පියවර ගෙන තිබේ. “Beyond the Drive” යන තේමාව යටතේ කොළඹ හිල්ටන් හෝටලයේ ‘The Blue’ පරිශ්රයේදී පැවැති නිල උත්සවයේදී මෙම පත්කිරීම් සිදු කෙරිණි.
ශ්රී ලංකාවේ ඕනෑම ප්රදේශයක වෙසෙන පාරිභෝගිකයෙකුට තම ප්රාදේශීය නගරයෙන්ම නව වාහන මිලදී ගැනීම, නඩත්තු කටයුතු, අලුත්වැඩියාවන්, තාක්ෂණික උපදෙස් සහ අමතර කොටස් ලබාගැනීමේ පහසුව සැලසීම මෙම වැඩසටහනේ මූලික අරමුණ වේ.
මෙම ව්යාපෘතිය යටතේ Euro Motors සමාගම විසින් බලයලත් ක්ෂේත්රයන් තුනක් ඔස්සේ නියෝජිතයින් පත්කර ඇත. එහිදී නව වාහන මාදිලි පිළිබඳ නිවැරදි තොරතුරු සහ නිරීක්ෂණ පහසුකම් සපයන ප්රදර්ශනාගාර (Display Points), අලෙවිය (Sales), අමතර කොටස් සහ සේවා (Spare Parts and Service) යන අංශ ත්රිත්වයම එකම වහලක් යටින් සම්පූර්ණ කරන 3S අලෙවි නියෝජිත මධ්යස්ථාන (3S Dealers) මෙන්ම ප්රමිතියෙන් යුතු නිල නඩත්තු සහ අලුත්වැඩියා සේවාවන් සමීපව ලබාදෙන විශේෂිත සේවා සහකරුවන් ද ඊට ඇතුළත් වේ.
සිය සේවා විශිෂ්ටත්වය පිළිබඳ අදහස් දක්වමින් Euro Motors සමාගමේ ප්රධාන මෙහෙයුම් නිලධාරී (COO) රවීන්ද්ර සෙනරත්න මහතා සඳහන් කළේ, “අපගේ මූලික අභිප්රාය වන්නේ වාහන පෙළ පුළුල් කිරීම පමණක් නොව, වාහනයක් මිලදී ගත් මොහොතේ සිට එහි හිමිකාරීත්ව කාලසීමාව පුරාවටම පාරිභෝගිකයාට අවශ්ය පසු අලෙවි සහාය නිරන්තරයෙන් ලබාදීමයි. දිවයින පුරා පත්කරන ලද මෙම ජාලය හරහා පාරිභෝගිකයින්ට තමන් ජීවත්වන හෝ ව්යාපාර කටයුතු සිදුකරන ප්රදේශයෙන්ම පහසුවෙන් සේවාවන් ලබා ගැනීමට මඟපෑදෙනවා. මෙය අපගේ පාරිභෝගිකයන් සහ ව්යාපාරික සහකරුවන් වෙනුවෙන් දක්වන දීර්ඝකාලීන කැපවීමේ ප්රතිඵලයක්.”
Euro Motors පාරිභෝගිකයින් සඳහා සපයනු ලබන නිෂ්පාදක වගකීම් සහතිකය සක්රීයව පවත්වා ගැනීමට නම්, නියමිත කාලසටහනට අනුව සිය වාහන නඩත්තු කටයුතු මෙම බලයලත් සේවා මධ්යස්ථාන ජාලය හරහාම සිදුකිරීම අනිවාර්ය වේ. එමඟින් වාහනය සඳහා නිෂ්පාදකයා අනුමත කළ නිල අමතර කොටස් සහ ප්රමිතියෙන් යුතු තාක්ෂණික සේවාව තහවුරු කෙරේ.
විශේෂයෙන්ම වාණිජ සහ ප්රවාහන ක්ෂේත්රයන්හි නියැලෙන ව්යාපාරිකයින්ට, මෙම ජාලය මඟින් වාහන අක්රියව පවතින කාලය (Downtime) අවම කරගනිමින් සිය ව්යාපාරික මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකියාව ලැබෙනු ඇත.
වසර 20කට අධික විශ්වාසනීය ඉතිහාසයකට හිමිකම් කියන Euro Motors සමාගම, වර්තමානයේ Jetour, JAC, Dongfeng, Bonluck, Ankai සහ Joylong යන ලොව ප්රමුඛ පෙළේ මගී, SUV, විදුලි (EV) සහ වාණිජ වාහන සන්නාම රැසක නිල නියෝජිතයා ලෙස කටයුතු කරයි.