බලයලත් නියෝජිතයන්ගෙන් පමණක් නවතම වාහනයක් මිල දී ගැනීමේ වැදගත්කම

නවීන පන්නයේ නවතම වාහනයක් පැදවීම තුළින් පාරිභෝගිකයාට ඉන් ලැබෙන්නේ මහත් විශ්වාසයකි. එය හුදෙක් වාහනයේ ඇති පෙනුම හෝ සුමට ක්‍රියාකාරිත්වයට සීමා වූවක් නොවේ.  පළමුවරට වාහනය පැදවීමේ පටන් වාහනයේ ගෙවෙන සෑම කිලෝමීටරයකම අයිතිය තමා සතු වීමේ ආරක්ෂිත, විශ්වාසදායක සහ ආත්ම විශ්වාසයෙන් යුත් හැඟීම නිසා පාරිභෝගිකයාට ලැබෙන මානසික සන්සුන්භාවය එයට හේතුවයි. සැඟවුණු හෝ හඳුනා නොගත් දෝෂ සහගත තත්වයන් නැති, ගෙවුණු සැතපුම් ගණන (mileage) පිළිබඳ සිතා කරදර විය යුතු නැති මෙම අවස්ථාව පාරිභෝගිකයාට ලැබෙන්නේ  බලයලත්  නියෝජිතයෙකුගෙන් වාහනයක් මිල දී ගතහොත් පමණි.

බලයලත් නියෝජිතයෙකුගෙන් ලබා ගන්නා සෑම අලුත් වාහනයක්ම අනපේක්ෂිත අළුත්වැඩියාවන් සඳහා හෝ නිෂ්පාදන දෝෂ ආවරණය කරන සම්පූර්ණ නිෂ්පාදක වගකීමක් සමඟින් පැමිණෙයි. එය හුදෙක් වගකීමක් පමණක් නොවේ. එය වාහනය නිසි ගුණාත්මක කාර්ය සාධනයකින් යුතුව නිෂ්පාදනය කර ඇති බවට විශ්වාසදායක විශේෂඥ ජාලයකින් තහවුරු කරමින් පාරිභෝගිකයාට ලබා දෙන විශ්වාසනීය පොරොන්දුවකි.

බලයලත්  නියෝජිතයෙකුගෙන් ලබා ගන්නා අලුත් වාහනයක් අව්‍යාජ කිලෝ මීටර ගණනකින් යුත් වාහනයක් බවට සහතික කෙරෙයි. එන්ජිමේ සිට අභ්‍යන්තරය දක්වා සෑම කොටසක්ම කර්මාන්තශාලාව තුළ දී නැවුම් ලෙස නිෂ්පාදනය කර තිබේ.  ශ්‍රී ලාංකික තත්වයන්ට ගැලපෙන පරිදි විශේෂයෙන් නිපදවන ලද මෙම මෝටර් රථවල දේශීයකරණය කරන ලද වායු සමීකරණ (AC) සතු වේ. ශ්‍රී ලංකාවේ මාර්ගවලට හා දේශගුණික තත්වයන්ට ඔරොත්තු දෙන ලෙස මෙම මෝටර් රථ  ශක්තිමත් පද්ධතියකින් හා කල්පවතින අභ්‍යන්තර විශේෂාංග සමඟින් නිර්මාණය කර තිබේ. මෙය විශ්වාසදායක, සුවපහසු ධාවනයක්, අඩු නඩත්තු පිරිවැයක් සහ නැවත විකිණීමේ දී ඉහළ විකුණුම් වටිනාකමක් පාරිභෝගිකයාට සහතික කරයි.

බලයලත් අලෙවිකරුවන්ගෙන් නව වාහනයක් මිල දී ගැනීමේ ඇති තවත් වාසියක් වන්නේ බලයලත් අලෙවිකරුවන් මෝටර් රථ නිෂ්පාදකයා සමඟ සෘජුවම ලියාපදිංචි කිරීමයි. මින්  අදහස් වන්නේ වාහනයේ ජීවිත කාලය පුරාම ආරක්ෂිත ආපසු කැඳවීම් (safety recalls) සහ නිෂ්පාදන වැඩිදියුණු කිරීම් පිළිබඳව හිමිකරුවන්ට වහාම දැනුම් දෙන බවයි. වෙනත් මාර්ග හරහා ආනයනය කරන ලද මෝටර් රථවලට මෙම දැනුම්දීම් නොලැබෙන අතර එමඟින් මගීන්ගේ ජීවිත ආරක්ෂාවට තර්ජන එල්ල වීම මෙන්ම මෝටර් රථයේ ක්‍රියාකාරිත්වය අවදානමට ලක් වීම විය හැකිය.

බලයලත් අලෙවිකරුවන් හරහා මිලදී ගැනීම මඟින් සියලුම තීරුබදු රජයට ගෙවා ඇති මෙන්ම අදාළ ලේඛන නිසි පරිදි පවතින බවට සහතික කරයි. සියලු නීතිමය ගැටලුවලින් තොරව හිමිකාරිත්වය පාරිභෝගිකයාට ලැබේ. මෑතක දී  නීති විරෝධීව ආනයන කර ඇතැයි සැක කෙරෙන වාහන 1,000ක පමණ ප්‍රමාණයක් ශ්‍රී ලංකා රේගුවේ රඳවා තබා ගත් අතර, එමඟින් ගනුදෙනුකරුවන්ට මාස ගණනක් තම වාහන පැමිණෙන තෙක් බලා සිටීමට සිදු විය. බලයලත් අලෙවිකරුවන්ගෙන් ලබා ගන්නා මෝටර් රථ නීත්‍යානුකූලව, ආරක්ෂිතව සහ නිවැරදි වෙළඳපල මිලට ආනයනය කරනු ලබන නිසා මෙවන් ගැටලුවලින් පාරිභෝගිකයා ආරක්ෂා වෙයි.

බලයලත් අලෙවිකරුවකුගෙන් අලුත්ම වාහනයක් මිල දී ගැනීම තුළින් විශ්වසනීයත්වයත් සහ දිගුකාලීන තෘප්තියත් ලැබේ. තවද ඒ සමඟින් පාරිභෝගිකයාට පුළුල් වගකීම් පෙළක්, නිවැරදි ආරක්ෂණ ක්‍රමවේදයක් හා දේශීය තත්වයන්ට ගැලපෙන ඉංජිනේරු තාක්ෂණයේ සහය ද ලැබේ.  වාහනයේ හිමිකාරීත්වය විනිවිදබවකින් යුතුව පාරිභෝගිකයාට ලැබෙන නිසා බලයලත් නියෝජිතයන්ගෙන් අලුත්ම වාහනයක් මිලදී ගැනීම සෑම ගමනක්ම සැබෑ ‘මානසික සැනසීම’ සමඟින් මෙහෙයවන බවට සහතික කරයි.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *