දානශීලී සහ ව්‍යවසායකයෙකු ලෙස ඉහළ සේවයක් ඉටු කළ BAM Holdings Limited හි නිර්මාතෘවරයා වූ දිවංගත බී.ඒ. මහීපාල මහතාගේ 78 වැනි ජන්ම දින සැමරුම නිමිති කර ගනිමින් සීමාසහිත BAM Holdings සමාගම විසින් පසුගියදා ‘මිහිමව අපේ අනාගතයයි’ යන තේමාව ඔස්සේ රුක් රෝපණ වැඩසටහනක් සංවිධානය කරන ලදී. මෙම වැඩසටහන යටතේ මී පැළ 1,000ක්, ඇහැළ පැළ 50ක් සහ පලතුරු පැළ 28ක් ආදී වශයෙන් පැළ 1,078ක් මාදුරු ඔයේ පිහිටි ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බලකා (SF) කඳවුරු පරිශ්‍රයේ දී රෝපණය කරන ලදී.

දිවංගත මහීපාල මහතා විසින් 2020 වර්ෂයේ දී හෝමාගම අවට ගම්මානවලට මෙන්ම හෝමාගම ගොඩගම සුභාරතී මහාමාත්‍ය මහා විද්‍යාලය සහ මීගොඩ ධර්මරාජ විද්‍යාලය වෙත මී පැළ 1,000ක් බෙදා දීමේ වැඩසටහනක් දියත් කළ අතර එය අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා මෙම වැඩසටහන ක්‍රියාත්මක විය. එපමණක් නොව ඔහු මිහිමව කෙරෙහි දැක්වූ අවංක ආදරය ද සංකේතවත් කිරීම මෙහි තවත් සුවිශේෂී අරමුණක් විය.
දේශීය පරිසර පද්ධතිය තුළ කාබන් වෙන් කිරීමේ ධාරිතාව වැඩි දියුණු කිරීම සඳහා Thermo Plastics (පෞද්ගලික) සමාගම කැපවී සිටියි. අනාගතයේ දී මෙම ව්‍යාපෘතිය, සංවිධානයේ මෙහෙයුම් මට්ටමේ නිකුත් කිරීම් සඳහා දායක කර ගැනීමට හැකි ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස සංවර්ධනය කිරීමට අපේක්ෂා කෙරේ.



