ශ්‍රී ලංකාව දුම්පානය අවම කිරීම සම්බන්ධයෙන් සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගෙන ඇති අතර, වැඩිහිටියන්ගෙන් 8.7%ක් පමණක් දුම් පානය කරන්නන් ලෙස වාර්තා වී ඇත. මෙය ගෝලීය වශයෙන් අනෙක් රටවල්වල පවතින සාමාන්‍ය අගයන්ට වඩා බෙහෙවින් අඩු අගයක් වන අතර Smoke-free තත්වයක් ලෙස අර්ථකථනය කෙරෙන 5%ක සීමාවට වඩාත් සමීප අගයකි. මෙම සමස්ත ප්‍රතිශතය ධනාත්මක තත්වයක් පෙන්නුම් කළ ද, පිරිමි පුද්ගල දුම්පානය තවමත් 17.7%ක් ලෙස ඉහළ මට්ටමක පැවතීම එතරම් සුභදායක නොවන අතර එය සමහර පුද්ගල කාණ්ඩයන්හි ගැටළු සහගත තත්වයක් පවතින බව අවධාරණය කරයි. මීට අමතරව, රටේ දුම්පානය පිළිබඳ නීති සහ රෙගුලාසි වල ඇති සමහර හිඩැස්, ශ්‍රී ලංකාව මෙතෙක් ලැබූ ප්‍රගතිය මන්දගාමී කිරීමේ දැඩි අවදානමක් ද පවතී.
වර්තමානය වනවිට ශ්‍රී ලංකාව තුළ දුම්පානය ආශ්‍රිත ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන ආකාරය සම්බන්ධයෙන් යම් යම් ගැටළු සහගත තත්වයන් උද්ගතව පවතී. නිදසුනක් ලෙස, සමස්ත සිගරට් පරිභෝජනයෙන් 30%ක් පමණ වන පෙරහන් නොකළ අතින් රෝල් කරන ලද ‘බීඩි’ ඉතාමත් අඩු මුදලකට වෙළඳපොළ තුළ පහසුවෙන් ලබා ගත හැකි අතර ඒවා සුරාබදු වලින්ද නිදහස්ය. එහෙත්, ස්නස් (Snus) සහ රත් කළ දුම්කොළ නිෂ්පාදන වැනි ආරක්ෂිත විකල්ප නිල අනුමැතියක් නොමැති වීම නිසා වෙළඳපොළ තුළ විකිණීමට අවසර නොමැති වුවද නිකොටින් බෑග්, කිසිඳු නීතිමය බලපෑමකින් තොරව වෙළඳපොළ තුළ විකුණනු දක්නට ලැබේ.
මෙම යල්පැන ගිය ප්‍රතිපත්ති, හානිකර දුම්කොළ නිෂ්පාදන ලබාගැනීම පහසු කරවමින්, ආරක්ෂිත නව විකල්ප ලබාගැනීම අසීරු කටයුත්තක් බවට පත්කර ඇත. The Path to Smoke-Free ව්‍යාපෘතියේ ශ්‍රී ලංකාව පිළිබඳව සිදුකළ ඇගයීමේ දත්ත අනුව, නවීන නිකොටින් නිෂ්පාදන වලට ඇති පිළිගැනීම සහ ඒවා ලබාගැනීමේ පහසුව අතින් ගත්කල, ශ්‍රී ලංකාව රටවල් 101ක් අතරින් 94 වෙනි ස්ථානයෙහි ද, මෙම නිෂ්පාදන මිලදී ගැනීමට ඇති හැකියාව අතින් 69 වෙනි ස්ථානයෙහි ද පසුවෙයි. සමස්තයක් ලෙස ගත්කල ශ්‍රී ලංකාව තවමත් ලෝකයේ පහළම ස්ථානයක සිටී.
කැපී පෙනෙන පරිවර්තනයක් / විප්ලවීය වෙනසක්
දුම්පානය අවම කිරීම සම්බන්ධයෙන් ස්වීඩනය ලබා ඇති සාර්ථකත්වය, දුම්පානය නතර කිරීම පිළිබඳ බැරෑරුම් ලෙස සිතන අනෙකුත් රටවලට ද ප්‍රබල ආදර්ශයකි. යුරෝපා සංගමයේ සාමාන්‍ය දුම්පානය 24%ක් වන මෙවන් අවධියක, ස්වීඩනය සිය රටේ දුම්පානය කිරීමේ අනුපාතය 5.3% දක්වා අඩු කරමින් 2040 දී ලඟාවීමට නියමිතව තිබූ smoke-free ඉලක්කයට වසර 15 කට පෙරම ලඟා වීමට සමත් විය.
ස්වීඩනයේ මෙම සාර්ථකත්වය ඉතා හොඳින් සැලසුම් කළ උපාය මාර්ගික ක්‍රියාවලියක ප්‍රතිඵලයකි. එහිදී දුම්පානය සඳහා විකල්ප සොයන්නන් හට නෛතිකව පිළිගත්, පහසුවෙන් සහ දැරිය හැකි මිලකට ලබාගත හැකි නව්‍ය නිකොටින් නිෂ්පාදන ලබාදීමට අමතරව තවත් සාම්ප්‍රදායික ක්‍රියාමාර්ග ද ඒකාබද්ධ කරමින් පුළුල් ප්‍රවේශයක් අනුගමනය කිරීමට ස්වීඩනය කටයුතු කරන ලදී.
සාම්ප්‍රදායික මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග සමඟ නවෝත්පාදනයන් මුසු කරමින් ස්වීඩනය අනුගමනය කළ මෙම ක්‍රියා පිළිවෙත නිසා, යුරෝපා සංගමයේ සාමාන්‍යයට සාපේක්ෂව දුම්පානය ආශ්‍රිත මරණ 21.2%කින්, පෙනහළු පිළිකා මරණ 36%කින් සහ මුළු පිළිකා මරණ 31.3%කින් අඩු කරගැනීමට ඔවුන්ට හැකියාව ලැබුණි. මෙම සංඛ්‍යාවලින් පෙනී යන්නේ මරණයෙන්, බරපතල රෝගාබාධ සහ වේදනාවන්ගෙන් මිදී මේ වන විට බේරී ඇති අහිංසක ජීවිත සංඛ්‍යාවයි.
ස්වීඩනයේ සාර්ථකත්වයට හේතු වූ සාධක ත්‍රිත්වය
ස්වීඩනයේ නියාමන රාමුව පදනම් වී ඇත්තේ, ස්වීඩනයේ හිටපු දුම් බොන්නන් අතර සිදු කරන ලද පර්යේෂණ මගින් දුම්පානය සාර්ථකව නැවැත්වීම සඳහා ඉවහල් වූ බව කියන නිර්ණායක තුනක් නව්‍ය නිකොටින් නිෂ්පාදන මඟින් සපුරාලීම මතයි.
1.ලබාගැනීමේ පහසුව: අදාළ තොරතුරු සමඟ සාම්ප්‍රදායික සිල්ලර වෙළඳසැල් සහ ඔන්ලයින් මාර්ග හරහා නව්‍ය නිකොටින් නිෂ්පාදන ලබා ගත හැකි බව සහතික කිරීම.
2.පිළිගැනීම: දුම්පානයට සෑම අතින්ම සමාන වූ විකල්පයක් සැපයීමට අවශ්‍ය විවිධ රසයන් සහ නිකොටින් මට්ටම් නව්‍ය නිකොටින් නිෂ්පාදන තුළ අන්තර්ගත කිරීම.
3.දැරිය හැකි මිල: වැඩිහිටියන්ට දුම්පානය අත්හැර නව්‍ය නිකොටින් නිෂ්පාදන මිලදී ගැනීමට හැකිවන ලෙස බදු අයකිරීමට වග බලා ගැනීම.
නවෝත්පාදනය සතුරෙකු ලෙස නොව මිතුරෙකු ලෙස දකින්න
බොහෝවිට නව්‍ය නිකොටින් නිෂ්පාදන වලට විරුද්ධව විවේචන එල්ල වුවද, ස්වීඩනයේ අත්දැකීම අනුව මෙම නිෂ්පාදන smoke-free ඉලක්කයට ගමන් කිරීම කඩිනම් කරන මාර්ගයකි. 2010 වසරේ පමණ ආරම්භ වූ නිකොටින් බෑග් භාවිතය, කාන්තාවන් වැනි සාම්ප්‍රදායික ස්නස් භාවිතා කිරීමට අදිමදි කළ අය අතර කැපී පෙනෙන වෙනසක් සිදු කළේය.
මුඛ නිකොටින් නිෂ්පාදන භාවිතය සහ දුම්පානය අඩුවීම අතර පරිපූර්ණ ප්‍රතිලෝම සහසම්බන්ධයක් ස්වීඩන දත්ත මගින් හෙළි වේ. නව්‍ය නිෂ්පාදන භාවිතය දළ වශයෙන් 11% සිට 16% දක්වා ඉහළ යන විට, දුම් පානය කිරීමේ දෛනික අනුපාතය 11% සිට 5.4% දක්වා පහත වැටුණි. දීර්ඝකාලීන අධ්‍යයන මගින් තහවුරු වන්නේ මේවා භාවිතා කරන්නන්ගෙන් අති බහුතරය සිගරට් වලින් සාර්ථකව ඉවත් වූ හිටපු දුම් බොන්නන් බවයි.
මෙමගින් පෙන්වා දෙන්නේ, බොහෝ අය සම්පූර්ණයෙන්ම දුම්පානය අත් නොහරින බව සහ ඔවුන්ට වඩා හොඳ, ආරක්ෂිත සහ ආකර්ශනීය විකල්ප ලබා දෙන්නේ නම්, ඔවුන් ඒ වෙත මාරු වීමට කැමැත්තක් දක්වන බවයි. තවද නවෝත්පාදන, දුම්පානය දිරිමත් නොකරන අතර එය වඩාත් ආරක්ෂිත සහ ආකර්ශනීය දෙයක් ලබා දීමෙන් සිගරට් භාවිතය අවම කරයි.
තේරීම/තීරණය ශ්‍රී ලංකාව සතුයි
ස්වීඩනය smoke-free තත්වයක් කරා පැමිණි ගමන එක රැයකින් සිදුවූවක් නොවේ, එහෙත් එය සැවොම අපේක්ෂා කළාට වඩා වැඩි වේගයකින් සිදුවිය. මේ සඳහා හේතු වූයේ ඔවුන් සාම්ප්‍රදායික දුම්පාන විරෝධී ක්‍රම මත පමණක් රඳා නොසිට සාම්ප්‍රදායික ක්‍රියාමාර්ග සමඟ නවෝත්පාදන ප්‍රතිපත්ති ඒකාබද්ධ කරමින් අනුගමනය කරන ලද පුළුල් ප්‍රවේශයයි. එහිදී එක් එක් ප්‍රවේශයට තනිවම අත්කර ගත හැකිව තිබූ ප්‍රගතියට වඩා වැඩි ප්‍රගතියක් මෙම නව්‍ය නිෂ්පාදන සමඟ ඒකාබද්ධ කිරීමෙන් ලබාගැනීමට ඔවුන්ට හැකි විය.
තමන් අනුගමනය කරන වත්මන් පිළිවෙත අඛණ්ඩව කරගෙන යමින් smoke-free තත්වයක් කරා ක්‍රමානුකූලව ලඟා වෙනවා ද එසේ නැතහොත්, ස්වීඩනය මෙන් සාම්ප්‍රදායික ක්‍රියාමාර්ග සමඟ නවෝත්පාදනයන් යොදා ගනිමින් මිනිස් ජීවිත ද රැකගෙන වේගවත් ගමනක් යනවාද යන්න තීරණය කිරීමට ශ්‍රී ලංකාවට සිදුව ඇත.
මෙවැනි තත්වයක් තුළ, ගතකරන සෑම මිනිත්තුවකින්ම ඉතිරි කරගත හැකි මුදල් ප්‍රමාණය නොව බේරාගත හැකි ජීවිත ප්‍රමාණය තීරණය කරයි. ශ්‍රී ලාංකික නායකයින් ගන්නා තීරණ මගින් රට දුම්පානයෙන් තොර වනවා ද යන්න පමණක් නොව, එමඟින් කී දෙනෙකුගේ ජීවිතවලට ප්‍රතිලාභ ලබාදෙයි ද යන්න තීරණය වේ. සාර්ථකත්වය ලඟා කරගන්නේ කෙසේ ද යන්න ස්වීඩනය විසින් පැහැදිලිව පෙන්වා දී ඇති නමුත් දැන් සැබෑ ප්‍රශ්නය නම්, ශ්‍රී ලංකාව එම මාර්ගයම අනුගමනය කිරීමට තෝරා ගනීවි ද යන්නයි.
(මෙම ලිපියේ කතුවරයා වන ෆෙඩෙරිකෝ නවෝත්පාදන තුළින් වෙනසක් සිදු කිරීමට කැප වූ දූරදර්ශී නායකයෙකි. Think tanks 50කින් සහ රාජ්‍ය නොවන සංවිධානවලින් සමන්විත ගෝලීය ජාලයක් වන We Are Innovation හි ප්‍රධාන විධායක නිලධාරී ලෙස ඔහු කටයුතු කරයි. නවෝත්පාදනය පිළිබඳ ඔහුගේ දැනුම සහ උනන්දුව The Economist, El País, Folha de São Paulo සහ Newsweek වැනි ප්‍රසිද්ධ ප්‍රකාශනවලින් ද ඇගයීමට ලක්කර ඇත. ෆෙඩෙරිකෝ, මහාද්වීප හතරක් පුරා දේශන පවත්වා ඇති අතර, විද්‍යාත්මක ලිපි රැසක් රචනා කොට ආර්ථික විද්‍යා විෂයය පිළිබඳ පොත් කිහිපයක් ද සම-සංස්කරණය කර ඇත.)