දුම්පානය අවම කිරීම සඳහා යොදාගත හැකි අවම හානිදායී විකල්ප හඳුනාගැනීම

වර්තමානය වන විට ප්‍රධාන මාධ්‍යවල මෙන්ම සමාජ මාධ්‍යවලද Vape භාවිතය උණුසුම් නව මාතෘකාවක් බවට පත්ව තිබේ. එම බොහෝ කතිකාවත් තුළදී අපට දක්නට ඇත්තේ, Vape භාවිතය පිළිබඳව කිසිදු විමසීමකින් හෝ දැනුවත්භාවයකින් තොරව එය සම්පූර්ණයෙන්ම බැහැර කිරීම හෝ හෙළා දැකීමකී. දුම්පානය නොකරන පුද්ගලයෙකු vape භාවිතයට යොමුවීම තුළින් සෞඛ්‍ය ගැටලු ඇතිවීමේ හැකියාවක් තිබිය හැකි වුවද,  දැනටමත් දුම්පානය කරන්නෙකු සම්බන්ධයෙන් මෙම තත්ත්වය වෙනස්  වේ.

යම් විෂයක් පිළිබඳ කරුණු ප්‍රචාරණය කිරීමට බලාපොරොත්තු වන ඉලක්කගත පිරිසක් සඳහා නිවැරදි අර්ථදැක්වීමක් ඉදිරිපත් කිරීම ඉතා වැදගත්ය. ඒ අනුව දුම්කොළ අන්තර්ගත Vape සහ දුම්කොළ අන්තර්ගත නොවන Vapes අතර වෙනස නිවැරදිව හඳුනා ගත යුතුය. ඇත්තෙන්ම, දුම්වැටිවල තිබෙන බොහෝ හානිදායක ද්‍රව්‍ය vape තුළ නොමැත. Vape භාවිතයේ වාසි සහ අවාසි සාකච්ඡා කරන විට නිෂ්පාදනය කුමක්ද සහ එහි ඉලක්කගත පාරිභෝගිකයන් කවුරුන්ද යන කරුණු සලකා බැලිය යුතුය. එමෙන්ම මෙම තොරතුරු ඔස්සේ දුම්පානය නොකරන්නන් Vape භාවිතය සඳහා  දිරිමත් කිරීමට අදහස් නොකරන අතර  දුම්පානය කරන පාරිභෝගික ජනතාව අවම හානියක් ඇති දුම්කොළ රහිත නිකොටින් විකල්පයක් භාවිත කිරීම කෙරෙහි කෙරෙහි දිරිගැන්වීමට අපේක්ෂා කෙරේ.

ලොව පුරා දුම්පානය කරන්නන් බිලියන 1.25ක් පමණ සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් පෙන්වා දී ඇත. එම පිරිසෙන් වැඩි දෙනෙකු දුම්වැටි භාවිතයට වඩා අඩු අවදානමක් සහිත විකල්ප නිෂ්පාදන භාවිතයට යොමුවීමේ ප්‍රවණතාවයක් ඇති අතර ඔවුන්ට එවැනි නිෂ්පාදන වෙත පහසුවෙන් යොමුවීමට අවකාශ නොමැති වුවහොත් ඔවුන් තවදුරටත් හානිදායක දුම්වැටි භාවිතයෙන් අත්මිදීමට අපොහොසත් වනු ඇත.

සරල උදාහරණය

සරල උදාහරණයක් ඔස්සේ මේ සම්බන්ධයෙන් පැහැදිලි කර ගත හැකිය. A යනු දුම්පානය නොකරන්නෙකු ලෙසත්, B යනු දුම්පානය කරන්නෙකු ලෙසත් සිතමු.  ඔවුන්ගේ  සෞඛ්‍ය තත්ත්වය  පිළිබඳ උපකල්පිත ශ්‍රේණිගත කිරීමට අනුව A ගේ සෞඛ්‍ය තත්ත්වය 9/10ක් ලෙස සහ B ගේ සෞඛ්‍ය තත්ත්වය  5/10 ක මිණුමක්  ලෙස සලකමු. ඒ අනුව B ගේ සෞඛ්‍ය තත්ත්වය කෙරෙහි දෛනික දුම් පානය ප්‍රබල බලපෑමක් එල්ල කරයි.

සම්පූර්ණයෙන්ම දුම්පානයෙන් බැහැර වීමට අදහස් නොකරන B ට ඒ සඳහා මීළඟ හොඳම විසඳුම Vape ද යන ගැටලුව පැන නැගිය හැකිය. එහෙත් Vape භාවිතයට යොමුවීම ඔස්සේ B ගේ සෞඛ්‍ය තත්ත්වය 5/10 සිට 7/10 දක්වා වර්ධනය කරගත හැකි නම් අපට Vape භාවිතය විකල්ප ක්‍රමවේදයක් ලෙස සම්පූර්ණයෙන් බැහැර කළ නොහැකිය.මෙවැනි අවස්ථාවකදී දුම්පානයෙන් ඉවත් වී Vape වෙත යොමුවීම B ගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නංවා ගැනීම කෙරෙහි හේතුවිය හැකිය.එම නිසා  හානිදායක බවෙන් අඩු මෙවලමක් ලෙස Vape සතු සුවිශේෂීත්වය අප සැලකිල්ලට ගත යුතුය.

දුම්වැටි භාවිතය සහ Vape පිළිබඳව සංසන්දනාත්මක විශ්ලේෂණය

දුම්කොළ ආශ්වාස කිරීම මඟින් අපගේ පෙනහළුවලට හානි සිදුවන්නා සේම කාබන් විමෝචනය හරහා ද නිරන්තරයෙන්  අපගේ පරිසරයට හානියක් සිදුකෙරේ. ලොව පුරා සිදු කරන ලද අධ්‍යයනයකට අනුව Vape භාවිතය පුද්ගල සෞඛ්‍ය ආරක්ෂාවට සහ පරිසර හානිය අවම කිරීමට දායක වන බව දක්වා ඇත.එමෙන්ම දුම්වැටි භාවිතයට හුරුවී ඇති පුද්ගලයෙකුගේ රසාස්වාදයට  හානි නොවන විකල්පයක් ලෙස Vape භාවිත කළ හැකිය.මෙය ප්‍රවාහන ක්ෂේත්‍රයේ භාවිතා වන සම්ප්‍රදායික වාහන වෙනුවට ඉලෙක්ට්‍රික්  හෝ දෙමුහුම්  (Hybrid ) වාහන භාවිතයට සමාන වේ. තවදුරටත් කරැණු දක්වන්නේ නම් එය එකම කාර්ය‍්‍යක් සිදුකර ගැනීම සදහා ඵලදායීතාවය වැඩි විකල්ප ක්‍රමයක් අනුගමනය කිරීම තුලින් වඩා වැඩි ප්‍රතිලාභ සහ රසාස්වාදයක් අත්කර ගැනීමේ ක්‍රියාවලියක් වැනිය.

නිගමනය

 Disability-Adjusted Life Years – DALYs යනුවෙන් අර්ථ ගැන්වෙන්නේ සෞඛ්‍ය ගැටලුවක්, කිසියම් ආබාධිත තත්ත්වයක්  හෝ අකල් මරණයක් හේතුවෙන් පුද්ගලයෙකුට ජීවිත කාලය තුළ අහිමි වූ මුළු වසර ගණනයි. එය කිසියම් රෝගයක සංකීර්ණත්වය සාමාන්‍ය ජනතාව වෙත තක්සේරු කර දැක්වීම උදෙසා සෞඛ්‍ය විශේෂඥයන් විසින් භාවිත කරන ක්‍රමවේදයක් වන අතර එමඟින් මාරාන්තික සහ මාරාන්තික නොවන ආදී වූ බලපෑම් ද්විත්වයම ඒකාබද්ධ කර දක්වයි. එහෙත්, Vape පිළිබඳව නිෂ්චිත DALY ගණනය කිරීමක් තවමත් ඉදිරිපත් වී නොමැත.

දැනට පවතින විද්‍යාත්මක කරුණුවලට අනුව Vape භාවිතය සම්ප්‍රදායික දුම්වැටි භාවිතයෙන් සිදුවන සෞඛ්‍ය හානියට වඩා ඉතා අවම අගයක් ගනියි.මේ පිළිබඳ කරුණු එක්සත් රාජධානියේ මහජන සෞඛ්‍ය පිළිබඳ පළකරන ලද (2015 සහ 2018) වාර්තාවේ පැහැදිලිව දක්වා ඇත.එම වාර්තාවට අනුව Vape භාවිතය දුම්වැටි භාවිතයට වඩා 95%ක පමණ අවම සෞඛ්‍ය හානියක් ඇති බව දක්වා ඇත. මෙය එරට දුම්වැටි පාරිභෝගිකයන්ගේ වැඩි අවධානයක් දිනා ගත් අතර එම පාරිභෝගික ප්‍රජාව Vape භාවිතය වැනි විකල්ප කෙරෙහි යොමු කිරීමට සමත් විය.

කෙසේ වූවද Vape භාවිතය සම්පූර්ණයෙන් හානිකර නොවන බවට තහවුරු කළ නොහැකිය.නමුත් දුම්වැටි පරිභෝජනය කරන ප්‍රජාව හට අවම හානිකර විකල්පයක් ලෙස එය යොදාගත හැකිය.

මෙම නව ප්‍රවණතාවයේ අවසාන ඵලය වනුයේ සම්ප්‍රදායික දුම්වැටි භාවිතය අවම කිරීමකී. එබැවින් Vape භාවිතය පිළිබඳ පදනම් විරහිතව අර්ථකථන ලබාදීමට වඩා වැදගත් වන්නේ නිසි නියාමනයක් යටතේ පාරිභෝගික ජනතාව වෙත ඔවුන්ගේ අවශ්‍යතාව සපුරාලීමට හැකි විකල්පයක් ලෙස Vape භාවිතය සමාජයට හඳුන්වාදීමය.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *