කලාපීය ව්‍යවසායකත්වය පෝෂණය කරමින් SLASSCOM ආයතනය විසින් 2019 – ඌව IT/BPM සතිය සාර්ථක අයුරින් නිම කරයි

මෙවර SLASSCOM ආයතනය විසින් සංවිධානය කළ IT/BPM සතියෙහි සිවු වැනි අදියර, පසුගියදා ඌව පළාතේදී බදුල්ල ප්‍රදේශයේදී පැවැත්විණි. මානව හැකියා ධාරිතාවය ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් දුර බැහැර නගරවල සංවිධානය වන SLASSCOM IT/BPM සතිය, මේ වන විට ශ්‍රී ලංකාවේ තාක්ෂණික වර්ධනය කෙරෙහි සුවිසල් දායකත්වයක් ලබා දෙන තරගකාරී වැඩසටහනක් බවට පත් ව ඇත. එමෙන්ම, ඉකුත් වසරවලද SLASSCOM ආයතනය එම වැඩසටහන ඉතා සාර්ථක අයුරින් පවත්වා ඇති අතර, 2018 වසරේ එය ගාල්ල හා මාතර ප්‍රදේශවලද, 2016 දී මහනුවර ද, 2014 වසරේදී යාපනය ප්‍රදේශයේද පවත්වා තිබේ.  

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) හා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයේ (ICTA), සහයෝගය ඇතිව SLASSCOM සංවිධානය කළ ඌව IT/BPM සතිය මෙවර නම් කර තිබුණේ, “Nurturing Regional Entrepreneurship” යනුවෙනි. එම වැඩසටහනෙහි සම අනුග්‍රාහකත්වය SimCentric Technologies , IFS, Exetel Sri Lanka, ISM APAC හා VitalHub Innovations Lab යන ආයතන විසින් දරනු ලැබිණි. ක්ෂේත්‍රයෙහි අනාගත ඉලක්ක ළඟා කර ගනු වස් නිර්මාණාත්මක චින්තනය සිසුන් තුළ වර්ධනය කරමින් ඔවුන් දිරිමත් කිරීමේ හා උපදෙස් ලබා දීමේ අරමුණින් මෙම සමුළුව තෙදිනක් පුරා පැවැත්විණි. ප්‍රවීන වෘත්තකයින් ගණනාවක් විසින් ක්ෂේත්‍රයේ නවතම වෙනස්කම්, අනාගත ඉලක්ක සහ ව්‍යාපාර සඳහා වැදගත් වන රහස්ද හෙළි කරමින් පැවැත් වූ සුවිශාල දැනුවත් කිරීමේ වැඩසටහනක්ද එහිදී විය.

“ක්ෂේත්‍රයේ නවතම වෙනස්කම් පිළිබඳව දැන ගැනීමට වගේම, සුවිශාල වර්ධන මට්ටමක් සහිතව සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන මෙවැනි ක්ෂේත්‍රයකට සම්බන්ධ වීමට සිසුන් තුළ තිබෙන උනන්දුව ඉතාමත් පුදුම සහගතයි. වැඩි දෙනකුගේ දායකත්වයෙන්, සුවිශාල පිරිසක් සහභාගි කරවා ගනිමින් පැවැත්වුණු මෙම වැඩසටහන, ඩිජිටල් ආර්ථිකයට දායක වීමට ඌව පළාත තුළ ඇති උනන්දුව කොයිතරම් දැයි හොඳින්ම පෙන්නුම් කළා”  SLASSCOM අධ්‍යක්ෂ හා SimCentric Technologies හි කළමණාකාර අධ්‍යක්ෂ හරිධු අබේගුණරත්න සඳහන් කළේය.  

ඌව ප්‍රදේශයේ පැවති SLASSCOM හි IT/BPM සතියෙහි පළමු දිනයෙහි සමාරම්භය සනිටුහන් කෙරුණේ, ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ 300 කට ආසන්න සිසුන් පිරිසකගේ සැලකිය යුතු සහභාගිත්වයක් සමගිනි. තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ නියමුවන් විසින් එම ක්ෂේත්‍රෙය් Blockchain, QA Automation, Source controlling techniques හා Artificial Intelligence ආදී මෑත කාලීන ජනප්‍රිය වෙනස්කම් හා අනාගත වෙනස්කම් පිළිබඳව දැනුවත් කරමින්, ඉතාමත් සජීවීව, ජව සම්පන්න අයුරින් පැවැත්වුණු දැනුම බෙදා හදා ගැනීමේ අංගයන්ගෙන් වැඩ සටහන ආරම්භ කෙරිණි. දිවා ආහාරයෙන් අනතුරුව, මෘදුකාංග සංවර්ධකයකුගේ (Software Developer) භූමිකාව, බලපෑම් සහගත සන්නිවේදනය, රැකියා ස්ථානයේ නිර්මාණාත්මක සහයෝගය, හා IT/BPM ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා ආදී ප්‍රායෝගික වශයෙන් වැදගත් වන මාතෘකාවලින් සිදු කෙරුණු සාකච්ඡාවලට අවතීර්ණ වීමට සිසුන්ට අවස්ථාව ලැබිණි. ඔවුන්ගේ ඉදිරි වෘත්තීය ගමන් මගට අදාළව එවැනි කාරණා සාකච්ඡා කිරීම සිසුන්ට මහත් පල ප්‍රයෝජන අත් කර දෙන්නක් වූ අතර, ඒ හේතුවෙන් අනාගත වෘත්තීය ගමන් මාර්ගයේදී මුහුණ දෙන දුෂ්කරතාවන්ට වෙනස් හා අලුත් විසඳුම්ද දැන ගැනීමේ අවස්ථාව ඔවුන් වෙත හිමි විය. වැඩසටහනෙහි පළමු දිනය සමාප්තියට පත් කෙරුණේ SLASSCOM කණ්ඩායම, සිසුන් හා මුහුණට මුහුණ පවත්වන ලද සාකච්ඡාවකිනි.

දෙවැනි දින වැඩසටහන, ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ Block E හි පිහිටි නවතම පරිගණකාගාරයේ ප්‍රායෝගිකව පවත්වන ලද තාක්ෂණික අංගයකින් ඇරඹිණි. තාක්ෂණික ධාරා තුනක් යටතේ සිසුහු ඊට සහභාගි වූහ. Java/ JavaScripts සම්බන්ධයෙන් VitalHub Innovations Lab හි සහය මෘදුකාංග නිර්මාණ ශිල්පී කැලුම් තේනුවර විසින්ද, C#  සම්බන්ධව ISM APAC හි මෘදුකාංග ඉංජිනේරු නයනජිත් පිලපිටිය විසින්ද, Source Control සම්බන්ධයෙන් SimCentric Technologies හි තාක්ෂණික ප්‍රධානී වරුණ තෙන්නකෝන් විසින් ද,‍් එම ප්‍රායෝගික පුහුණු අංග පැවැත්විණි. එමෙන්ම, සිසුන් අනාගත අභියෝග හා විසඳුම්වලට සූදානම් කිරීමේ අරමුණින්, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන් හා SLASSCOM නියෝජිතයෝ ශ්‍රී ලංකාවේ ව්‍යවසායකත්වය, ශ්‍රී ලංකාවෙන් බැහැර ව්‍යාපාර, විශිෂ්ට සන්නාමකරණය හඳුන්වා දීම, ICT/BPM  ව්‍යවසායකයින් හට ලැබෙන රාජ්‍ය සහය හා Start-Up Ecosystem ආදිය සම්බන්ධයෙන්ද දේශන පවත්වනු ලැබූහ. ක්ෂේත්‍රයට සම්බන්ධ වීමට අවශ්‍ය වන හැකියාවන් පිළිබඳව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ, අපනයන සේවා අධ්‍යක්ෂ, සමන් මල්දෙණි, SimCentric Technologies හි කළමණාකාර අධ්‍යක්ෂ හා SLASSCOM අධ්‍යක්ෂ හරිධු අබේගුණරත්න‍,  VitalHub Innovations Lab හි කළමණාකාර අධ්‍යක්ෂ ඩිලාන් රාජපක්ෂ, Paymedia  නිර්මාතෘ කණිෂ්ක වීරමුණ්ඩ, ISM/ APAC හි මෘදුකාංග ඉංජිනේරු නයනජිත් පිලපිටිය යන මහත්වරුන් විසින් පවත්වන ලද සාකච්ඡා වටයකින් දෙවැනි දින වැඩසටහන අවසන් කෙරිණි.

තෙවැනි දිනයේදී,‍් රටතුළ සිය ව්‍යාපාර පවත්වාගෙන යන හා ඉදිරි සාර්ථකත්වයට ව්‍යාපාර අදහස් හැඩ ගස්වා ගැනීමට අපේක්ෂා කරන දේශීය ව්‍යවසායකින් 140 කට වැඩි පිරිසක් සහභාගි කරවා ගනිමින්, PayMedia හා SquareHub කණ්ඩායමේ නිර්මාතෘ කණිෂ්ක වීරමුණ්ඩ විසින් පවත්වන ලද ප්‍රායෝගික වැඩමුළුවක් පැවැත්විණි. එදින වැඩසටහන ආරම්භ කෙරුණු ice-breaker අංගයෙන් පසු පැවැත්වුණේ ව්‍යාවසාය අළලා දියුණු කළ හැකි අදහස් ඉදිරිපත් කිරීමේ (Pitching) අංගයයි. එහිදී සැලකිය යුතු අදහස් 30 කට ආසන්න ප්‍රමාණයක් ඉදිරිපත් වූ අතර, වඩාත් සාර්ථක යැයි හැඟෙන අදහස් සඳහා සහභාගි වූවන්ට සිය කැමැත්ත පළ කළ හැකි වීමද විශේෂත්වයකි. එවැනි අදහස්  ශක්‍යතා විග්‍රහ, තරගකරුවන්, වෙළෙඳ පොළ සූදානම ආදිය කාරණ ඔස්සේ තවදුරටත් පුළුල් කෙරිණි. අවසානයේදී ව්‍යාපාර සැලසුම් ඉදිරිපත් කෙරුණු අතර, සහභාගි වූවන්ට, ස්වකීය ව්‍යාපාර තවදුරටත් පුළුල් කරමින් ඒවා ස්ථාපිත කළ හැකි ක්‍රමවේද පිළිබඳවද උපදෙස් එහිදී ලැබිණි. Workforce.lk හි නිර්මාතෘ නිශ්ශංක ද සිල්වා, ව්‍යවසායකයකු ලෙස සිය ජීවිත අත්දැකීම් හෙළි කරමින් දිරිමත් කිරීමේ කතාවක්ද එහිදී පැවැත්විය. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ, අපනයන සේවා අධ්‍යක්ෂ සමන් මල්දෙණි හා SLASSCOM අධ්‍යක්ෂ මෙන්ම, SimCentric Technologies හි කළමණාකාර අධ්‍යක්ෂ හරිධු අබේගුණරත්න යන මහත්වරුන් විසින් පවත්වන ලද කතාවලින් එම වැඩසටහන අවසන් කෙරිණි.   

මෙරට වෙළෙඳ ව්‍යාපාර බල ගන්වමින්, අධ්‍යාපන හා රැකියා පුළුල් කරමින්, පර්යේෂණ හා නව නිර්මාණ දිරිමත් කරමින් මෙන්ම, දැනුම පාදක කර ගත් ක්ෂේත්‍රයට ජාතික ප්‍රතිපත්ති රාමුවක් ඇති කිරීමටද  ප්‍රයත්න දරමින්, ශ්‍රී ලංකාවෙහි බුද්ධිමය හා නව නිපැයුම් ක්ෂේත්‍රයෙහි ප්‍රවර්ධනයෙහි ලා පහසුකම් සපයන්නා ලෙස SLASSCOM කටයුතු කරයි.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *