ශ්‍රී ලංකාවේ තාක්ෂණික සමාජය සවිබල ගැන්වීමට STEMUp පෙරමුණ ගනී

2016 වසරේ ලාභ නොලබන සංවිධානයක් ලෙසින් පිහිටුවනු ලැබූ, STEMUp අධ්‍යාපන පදනම, ශ්‍රී ලාංකීය සිසුන්ට තොරතුරු තාක්ෂණය, විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු තාක්ෂණය, හා ගණිත ආදී අංශයන්ගෙන් සිය උසස් අධ්‍යාපන අවශ්‍යතා සපුරා ගැනීමට අවශ්‍ය සහය සලසමින් රට තුළ මා හැඟි මෙහෙවරක් ඉටු කරයි. එමගින් පිරිනමන නවතම සුවිශේෂී පාඨමාලා විෂය පථය හා දීප ව්‍යාප්ත පුහුණු සැසි මගින් මේ වන විට සිසුන් දහස් ගණනකට වෘත්තීය පදනම් කරගත් උසස් අධ්‍යාපන මං පෙත් විවර කර දී තිබේ. දහස් ගණනක් වන ස්වේච්ඡා කාර්ය මණ්ඩලයකින් සමන්විත මෙම අධ්‍යාපන පදනමෙහි මූලික අභිලාෂය වන්නේ, තරුණ ප්‍රජාවට ඩිජිටල් අවකාශ විවර කර දීමයි. මෙම අධ්‍යාපන පදනම මගින් තොරතුරු තාක්ෂණ හා (STEM) විෂයයන්ට අමතරව, කෘත්‍රිම බුද්ධි තාක්ෂණය, Machine learning ඇතුළු තවත් විෂයයන් ගණනාවක් ඉගෙන ගැනීමට අවස්ථාව සලසා තිබේ.

තොරතුරු තාක්‍ෂණ අධ්‍යාපනයෙන් ශ්‍රී ලංකාවෙහි තරුණ තරුණියන් සවිබල ගැන්වීමට දක්වන දායකත්වය උදෙසා STEMUp අධ්‍යාපන පදනම SLT Zero One 2020 සම්මාන උළෙලේදී ඇගයීමටද පාත්‍ර විණි. එහි වඩාත්ම ජනප්‍රිය වැඩසටහනක් වන ‘CoderDojo Sri Lanka’ වසරේ හොඳම ප්‍රජා සක්‍රීය කිරීමේ වැඩසටහන ලෙසින් සම්මන දිනාගත් අතර, තොරතුරු අංශයෙහි හොඳම ප්‍රජා සවිබල ගැන්වීමේ වැඩසටහන ලෙසින්ද ජයග්‍රහණය ලැබීය. එහි කේතකරණ ආධාරක (coding support) වැඩසටහන වන ‘Micro:bit Sri Lanka’ රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන අංශය යටතේ,  හොඳම ප්‍රජා සවිබල ගැන්වීමේ වැඩසටහනේ පළමු අනුශූරතාව දිනා ගැනීමටද සමත් විය.  

STEMUp මගින් ක්‍රියාත්මක කරන මූලික වැඩසටහනක් වන, Micro:bit Sri Lanka යනු, බ්‍රිතාන්‍යයේ Micro:bit පදනමෙහි අනුග්‍රහය ඇතිව ශ්‍රි ලංකාවේ තරුණ පරපුර අතර කේතකරණය (coding) ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් පැවැත්වෙන වැඩසටහනකි. Micro:bit Sri Lanka මේ වන විටත්, වෘත්තීය ආයතන හා විශ්ව විද්‍යාලවල දහසකට අධික ස්වකීය ස්වේච්ඡා කාර්ය මණ්ඩලයක් මගින් රටපුරා පුහුණු සැසි 500 කට අධික ප්‍රමාණයක් පවත්වා තිබේ. ඊට අමතරව, භාවිත කිරීමේ උපදෙස් සමගින් Micro:bit උපාංග, STEMUp අධ්‍යාපන පදනමෙහි පුස්තකාලවලින් නැවත භාර දීමේ පදනම මත සිසුන්ට ලබා ගත හැකි වේ. යුරෝපීය රටවල අධ්‍යාපන ක්‍රමවේදයන්හි බහුලව භාවිතයට ගැනෙන Micro:bit උපාංගය, සාක්කුවේ රඳවා ගෙන යා හැකි ප්‍රමාණයේ, කුඩා උපාංගයක් වන අතර එමගින් පරිගණක වැඩසටහන්කරණය සුවිශේෂී ආකාරයකට ඉගෙන ගැනීමට අවස්ථාවක් සැලසේ.  

“මෙහිදී අපගේ ස්චේච්ඡා කාර්ය මණ්ඩලයේ කැපවීම විශේෂයෙන්ම සඳහන් කිරීම ඉතාමත් වැදගත්. අපගේ ශක්තිය වන්නේ, තමන් ඉගෙන ගත් දෙය යොවුන් පරපුරට දායාද කර දීමේ අවශ්‍යතාවය හඳුනාගත් එම පිළිගත් කාර්ය මණ්ඩලයයි. පරිගණක වැඩසටහන්කරණය, IOT හා Machine learning මීට වසර කිහිපයකට පෙර ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශවල ඉගෙන ගැනීමට හැකියාවක් නොතිබුණු අතර, එවැනි තාක්ෂණික අධ්‍යාපනයක් ගම්බද ප්‍රදේශවලට රැගෙන යාමට STEMUp පෙරමුණ ගෙන තිබෙනවා. තොරතුරු තාක්ෂණ අධ්‍යාපනික සම්පත් අහිමි, බිම් මට්ටමේ එවැනි පිරිසට සහය දැක්වීම අවශ්‍ය බවට අපි තීරණය කරද්දි, ඒ සඳහා දහස් ගණනක ස්වේච්ඡා පිරිසක් අප සමග අත්වැල් බැඳ ගත්තා. මෙමගින් නවතම තාක්ෂණය ශ්‍රී ලංකාවට රැගෙන ඒමට, STEM දක්ෂතා පරතරය ඉවත් කිරීමට මෙන්ම නවෝත්පාදකයින්ගෙන්, ගැටලු විසඳන්නන්ගෙන් හා තාර්කික චින්තකයින්ගෙන් සැදුම්ලත් පරම්පරාවක් බිහි කිරීමටත් අපි අපේක්ෂා කරනවා.” STEMUp අධ්‍යාපන පදනමේ නිර්මාතෘ ප්‍රභාත් මාන්නප්පෙරුම මහතා සඳහන් කළේය.

CoderDojo Sri Lanka යනු තරුණ පිරිස සඳහා වන කේතීකරණ සමාජයක් වන අතර එමගින් ඉගෙනීමේ අවකාශ මෙන්ම, සමාන අදහස් ඇති පිරිසට එකිනෙකා හමුවීමටද ඉඩ සලසයි. එය ජාත්‍යන්තර, විවෘත සමාජ අධ්‍යාපනික ව්‍යාපාරයක් වන CoderDojo, හි ශ්‍රී ලාංකීය ශාඛාවද වෙයි. මෙම CoderDojo සමාජ පවත්වනු ලබන්නේ, ක්ෂේත්‍රයේ විශේෂඥවරුන්, විශ්ව විද්‍යාල වෘත්තිකයන් විසින් හා ප්‍රජා මධ්‍යස්ථාන මගිනි.

මේ වන විට STEMUp ස්වේච්ඡා සේවකයන් IoT, Ardunio, Machine learning හා Scratch ඇතුළු බොහෝ දේ පිළිබඳ දැනුම ලබා දෙමින් දුරස්ථ dojo සැසි මාලා පවත්වමින් සිටී. රටතුළ කෝවිඩ් -19 වසංගතය ව්‍යාප්ත වීමත් සමග Dojo සැසිවාර අන්තර්ජාලය මගින් පැවැත්වීම ආරම්භ කෙරුණේ සිසුන්ට සිය අධ්‍යාපන කටයුතු නොකඩවා පවත්වාගෙන යාම සඳහාය.

STEMUp විසින්, MilleniumIT ESP හා අත්වැල් බැඳ ගනිමින්, ’Machine learning for kids’’ නැතිනම්  “පොඩ්ඩන්ට යාන්ත්‍රික ඉගෙනුම” නමින් Machine learning ව්‍යාපෘතියක් ද පවත්වන ලදී. එය, විශ්ව විද්‍යාල සිසුන්ට සහ පාසල් දරුවන්ට කෘත්‍රිම බුද්ධි තාක්ෂණය භාවිත කිරීම පිළිබඳ ප්‍රායෝගික දැනුම ලබා දීමේ අරමුණින් පැවැත්වුණු  දැනුම හුවමාරු කිරීමේ වැඩසටහනකි. Machine learning හා කෘත්‍රිම බුද්ධි තාක්ෂණය ආදිය ග්‍රාමීය ප්‍රදේශවලට නිරාවරණය නොවීමේ අවශ්‍යතාවය හඳුනා ගැනීමෙන් අනතුරුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාවෙහි නැංවිණි.

“බොහෝ කර්මාන්ත ආශ්‍රිතව නිෂ්පාදන, සිල්ලර, සෞඛ්‍ය සේවා, මූල්‍ය සේවා, විද්‍යා, සංචාරක සහ උපයෝගිතා ඇතුළු ක්ෂේත්‍රයන්හි Machine learning බහුලව භාවිතා වෙනවා. අනාගතයේ දී වැඩි වැඩියෙන් භාවිතා කිරීමට අපේක්‍ෂා කරන මෙම විෂයෙහි වැදගත්කම සිසුන් විසින් අවබෝධ කර ගැනීම අත්‍යවශ්‍ය කරුණක්. ඔවුන් අනාගත නායකයින් වන නිසා, නව තාක්ෂණික දැනුමෙන් ඔවුන් සන්නද්ධ වීම අවශ්‍යයි. එමගින් තාක්‍ෂණයට අනුව අනාගත ඉල්ලීම් සපුරාලීමටත්, සෙසු ලෝකයට සමානව නව්‍යකරණයන් ඉදිරිපත් කිරීමටත් ඔවුනට හැකියාව ලැබෙනවා.”  STEMUp අධ්‍යාපන පදනමේ අධ්‍යක්ෂ, ඉන්දික දළුගම මහතා සඳහන් කළේය.  

STEMUp අධ්‍යාපනික පදනම රට තුළ අධ්‍යාපනය ඉහළ නැංවීම සඳහා අඛණ්ඩව දරන ප්‍රයත්න දරන අතර මේ වන විට, ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී හා අත්වැල් බැඳ ගනිමින් සියලුම විෂය ක්ෂේත්‍ර ආවරණය වන පරිදි උසස් පෙළ සිසුන් සඳහා සඳහා දුරස්ථ පන්තිද නොමිලේ පවත්වයි. ඉගෙනීමේ දුෂ්කරතාවන්ට මුහුණ පා සිටින සිසුන්ට සහය වීමේ  අරමුණින් මීට මාස දෙකකට පෙර ඇරඹුණු මෙම කර්තව්‍යයට ආරම්භයේ පටන්ම බොහෝ පැසසුම් හිමි විණි.

මෙම ප්‍රධානතම වැඩසටහන්වලට අමතරව, STEMUp මගින් මේ වන විට, ශ්‍රී ලංකා ටෙලිකොම්, කොමර්ෂල් බැංකුව, Colombo AI academy, MilleniumIT ESP, Raspberry PI පදනම, Micro:bit අධ්‍යාපන පදනම හා CoderDojo පදනම වැනි දේශීය හා විදේශීය හවුල්කරුවන් සමග එක්ව දීප ව්‍යාප්ත ව්‍යාපෘති පැවැත්වේ.

එමෙන්ම, එහි වෙබ් අඩවිය වන STEMUp.lk මගින් IoT, Machine learning, පරිගණක වැඩසටහන්කරණය ආදිය හැදෑරීම සඳහා මාහැඟි ඉගෙනුම් මූලාශ්‍රයන් සැපයෙන අතර, STEMUp අධ්‍යාපන පදනමේ ඉදිරි වැඩසටහන් පිළිබඳව මෙන්ම අන්තර්ජාල ඉගෙනුම් සැසිවාර පිළිබඳවද යාවත්කාලීන තොරතුරු ගෙන එයි.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *