ශ්‍රී ලංකා සිල්ලර වෙළඳ හිමියන්ගේ සංගමය (SLRA) දායක පිරිවැය ක්‍රමවේදයක් සඳහා ව්‍යාපාර සහකරුවන්ට ඇරයුම් කරයි

-කල්බදු හා කුලී වියදම් අඩු කිරීම

-වියදම් බෙදා ගැනීම වෙනුවෙන් සහය දැක්වීම

ශ්‍රී ලංකාව තුළ සිදුවන සිල්ලර වෙළෙඳාම හා සම්බන්ධ ප්‍රධානතම ආයතනය වන ශ්‍රී ලංකා සිල්ලර වෙළඳ හිමියන්ගේ සංගමය (SLRA)විසින් ඉඩම්හිමියන්, කල්බදුහිමියන් හා ව්‍යාපාර සහකරුවන් වෙත පසුගිය දා නිල ප්‍රකාශයක් නිකුත් කරමින් ඉල්ලා සිටියේ සංගමයේ බලපත්‍ලාභීන් වෙනුවෙන් කල්බදු හා කුලී ගාස්තු අඩු කරන ලෙසයි.

SLRA හි සභාපති, මුරලි ප්‍රකාශ් මහතා ඉල්ලා සිටියේ SLRA සාමාජිකයන් විසින් කල්බදු හා කුලී පදනම යටතේ ලබාගෙන ඇති සියලුම භෞතිකමය යටිතල පහසුකම් හා දේපල වලට ඊළඟ වසරට අදාල කල්බදු හා කුලී ගාස්තු සඳහා 50% ක සහනයක් ලබා දෙන ලෙසයි. තව ද හැකි සෑම අවස්ථාවකදී ම වියදම් වලට දායක වී මෙම අසීරු කාල සීමාව තුල ව්‍යාපාර ක්ෂේත්‍රය තිරසර ව පවත්වාගෙන යමින් සමස්ථ පද්ධතිය ම ආරක්ෂා කර ගැනීමට දායක වන ලෙස සියලු ම ව්‍යාපාර සහකරුවන්ගෙන් ඉල්ලා සිටියා.

COVID-19 වසංගතයත් සමඟ වසර දෙකකට අධික කාලයක් අක්‍රියව පැවති සිල්ලර වෙළඳාම් කටයුතු වර්තමානයේ පවතින හිතකර නොවන විදේශ විනිමය ප්‍රතිපත්ති නිසා තවත් අසීරු තත්ත්වයකට පත්විය. බොහෝ සිල්ලර වෙළඳුන් ආනයනික නිෂ්පාදන හා අමුද්‍රව්‍ය මත යැපෙන අවධියක මෙම තත්ත්වය හරහා ව්‍යාපාර තිරසර භාවය සෝදාපාලුවට ලක් වී ඇත. වත්මන් ඩොලර් අර්බුදයත් සමඟ ඇතිවූ අඩු ආදායම් තත්ත්වය හා අඩු වර්ධනකාරී තත්ත්වය හරහා භෞතිකමය යටිතල පහසුකම් නඩත්තු කිරීම ද පත්වී ඇත්තේ අභියෝගකාරී තත්ත්වයකටයි. පිරිවැය මුලයන්ගේ සිදුවූ ඉහළ යාමත් සමඟ මෙම තත්ත්වය තවත් උග්‍ර තත්ත්වයකට ඇද දැමීම සිදුවිය.

මෙම තත්ත්වයත් සමඟ අර්බුදකාරී තත්ත්වයන් සමනය කරගැනීම උදෙසා ව්‍යාපාර සහකරුවන් පිරිවැය සඳහා දායක කරගැනීම වෙත ද අවධානය යොමු වී ඇත. SLRA හි මතය අනුව මෙම අසීරු තත්ත්වයට ශක්තිමත් ව මුහුණ දීමට නම් සිල්ලර වෙළඳ හිමියන් හා ඔවුන්ගේ ව්‍යාපාර සහකරුවන් පොදු දැක්මක් සහිත ව කටයුතු කළ යුතුය. එක් ව නැගී සිටීම හරහා අදාල පිරිවැය වලට දායක වීමත් සමඟ මෙම ව්‍යාපාර නොබිඳී පවත්වාගෙන යා හැකි වේ. මෙම විකල්පය තුළින් අඩු ව්‍යාපාරික ස්ථාන සංඛ්‍යාවක් උපයෝගී කරගනිමින් ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමට වෙළඳ හිමියන් යොමු කරවනු ඇත. එසේ නොමැති වුවහොත් ඉඩම්හිමි හා ව්‍යාපාර සහකරු පාර්ශවයන් ට අඩු ආදායම් තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවේ.   සිල්ලර වෙළඳපොලවල් ප්‍රමාණය අඩු වීම හරහා අනෙකුත් ව්‍යාපාර සහකරුවන් ද මෙම තත්ත්වයට මුහුණ දීමේ ඉඩකඩ ඇත. ඒ අනුව  සියලුම පාර්ශවයන්ගේ සුභසිද්ධිය උදෙසා දායක පිරිවැය උපාය මාර්ග ස්ථාපිත කිරීම සිදුවේ.

වඩා හොඳ අනාගතයක් උදෙසා කල්බදු, කුලී ගාස්තු අඩුකිරීම හා දායක පිරිවැය ක්‍රමවේදයන් ට අනුකූල වෙමින් ඉඩම්හිමියන්, කල්බදුහිමියන් හා ව්‍යාපාර සහකරුවන් මේ සඳහා දායකත්වය සපයාවි යැයි බලාපොරොත්තුව ද කැටිව SLRA සර්වශුභවාදී චින්තනයෙන් පසුවන්නේ ය. තව ද මෙම තත්ත්වය යටතේ ඉඩම්හිමි, කල්බදු හිමිකරු හා අනෙකුත් ව්‍යාපාර සහකරුවන් යන පාර්ශව මත ඇති බලපෑම ගැන ද SLRA සිය අවධානය යොමු කොට ඇත. කෙසේ වුවත් අනාගතයේ දී සාර්ථකත්වය ට පත් වීමට නම් වර්තමානයේ දී කර්මාන්තයක් ලෙස නොනැසී සිටීම අනිවාර්යය වන අතර ඒ සඳහා සියලුම පාර්ශවයන් එක්සිත් ව ක්‍රියාකළ යුතු වේ.

මෙතෙක් පැවැති සුභවාදී හා අසුභවාදී ආර්ථික තත්ත්වයන් යටතේ සිල්ලර වෙළඳ හිමියන් දේශීය ආර්ථිකයට සපයා ඇති දායකත්වය අති මහත් වන අතර දැන් එළඹ ඇත්තේ ඔවුන් ට ව්‍යාපාර සහකරුවන් ගේ උපකාර අවැසි අවස්ථාවයි. ශ්‍රී ලංකාවේ දළ  දේශීය නිෂ්පාදිතයෙන් තුනෙන් එකක අගයකට මෙන් ම ශ්‍රී ලංකාවේ සේවා නියුක්තියෙන් 15% ක අගයකට හිමිකම් කියනුයේ සිල්ලර වෙළඳාම් අංශය යි. උද්දීපනය වූ සිල්ලර වෙළෙඳාමක් යනු ශක්තිමත් ආර්ථිකයක අත්‍යාවශ්‍ය අංගයකි. ඒ අනුව මෙම තීරණාත්මක අවස්ථාවේ දී දේශයේ සුභසිද්ධිය උදෙසා සිල්ලර වෙළෙඳාම නංවාලීම උදෙසා සියලුම අංශයන්ගේ දායකත්වය ඉතා වැදගත් වනු ඇත.

වර්තමානය වන විට SLRA විසින් නියෝජනය කරන අංශ වලට පාරිභෝගික භාණ්ඩ (FMCG), ඇඳුම්, විලාසිතා හා ස්වර්ණාභරණ, නිවාස, ගෘහස්ථ හා කල් පවත්නා පාරිභෝගික භාණ්ඩ, පාවහන් හා අමතර උපාංග, විද්‍යුත් වාණිජ්‍යය, සංචලතා, විනෝදාස්වාදය, අවන්හල් සහ ක්ෂණික සේවා අවන්හල්, සෞඛ්‍යාරක්ෂාව සහ සුවතාවය යන අංශ ඇතුලත් වේ.

තව ද, සිය සාමාජිකයන් වෙත ලබාදුන් සහ ඉදිරියේ දී ලබාදෙන සහයෝගය වෙනුවෙන් SLRA සිය ස්තූතිය පුද කර සිටී.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *