DFCC බැංකුව අභියෝග මැද සාර්ථක මූල්‍ය ප්‍රතිඵල වාර්තා කරයි

2021 දෙසැම්බර් 31 දිනයෙන් අවසන් වූ වර්ෂය සඳහා මූල්‍ය තොරතුරු ප්‍රකාශයට පත්කරයි

  • DFCC සමූහය රු. බිලියන 3.7 ක බදුවලින් පසු ලාභයක් වාර්තා කරගනී
  • නිකුත් කළ ණය රු. බිලියන 366 දක්වා රු. බිලියන 64 කින් වර්ධනය වේ (21% ක වර්ධනයක්)
  • තැන්පතු වල මුළු වටිනාකම රු. බිලියන 10 කින් වැඩි වී රු. බිලියන 320 ක් ලෙස වාර්තා වේ (3% ක වර්ධනයක්)

COVID-19 රෝග ව්‍යාප්තිය හේතුවෙන් ඇති වූ අවිනිශ්චිතතාවන් සහ ආර්ථිකය මන්දගාමී වීම ඇතුළු අභියෝග හමුවේ පවා, සිය ගනුදෙනුකරුවන්ට බාධාවකින් තොරව උසස්ම තත්වයේ සේවාවක් ලබාදීමට DFCC බැංකුව කටයුතු කළේ ය. මේ නිසා Global Brands UK විසින් 2021 වසරේදී බැංකු හා මූල්‍ය කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාවේ ‘වඩාත්ම විශ්වාසය දිනූ පාරිභෝගික බැංකු සන්නාමය’ සහ ‘විශිෂ්ටතම පාරිභෝගික සේවා බැංකුකරණ සන්නාමය’ ලෙස DFCC බැංකුව නම්කරන ලදි.

2025 වසර වන විට ශ්‍රී ලංකාවේ වඩාත්ම පාරිභෝගික කේන්ද්‍රීය සහ, වඩාත්ම පුළුල් ලෙස ඩිජිටල් තාක්ෂණය භාවිතා කරන බැංකුව බවට පත්වීමේ අරමුණින් DFCC බැංකුව සිය ආයතනික ක්‍රමෝපායට සමගාමීව, T24 Temenos Core Banking System දියත් කරමින්, විශේෂාංග රැසකින් සමන්විත මාර්ගගත බැංකුකරණ සේවා පදනමක් හඳුන්වා දීමට කටයුතු කළේ ය. මේ ආකාරයට නව ප්‍රධාන බැංකුකරණ සේවා පද්ධතියක් භාවිතයට ගැනීම මගින් ගනුදෙනුකරුවන්ට නවීනතම ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ඉතාමත් පහසුවෙන් තමන්ට අවශ්‍ය සේවාවන් ලබාගැනීමට අවස්ථාව හිමි වී තිබේ.

තම මූලික අරමුණ අනුව සැලසුම් කළ විධිමත් ක්‍රමෝපායක් ක්‍රියාවට නැංවීම තුළින් තමන් අපේක්ෂා කළ ප්‍රතිඵල ළඟා කරගැනීමට DFCC බැංකුවට හැකියාව ලැබිණි. COVID-19 රෝග ව්‍යාප්තිය ඔස්සේ මතු වූ අභියෝගවල ප්‍රතිඵලයක් ලෙස නිර්මාණය වූ නව ව්‍යාපාරික අවස්ථා ග්‍රහණය කරගැනීම සඳහා නවීන තාක්ෂණය වෙත යොමුවෙමින්, මිනිසුන්ට සහ ව්‍යාපාර වලට සෞභාග්‍යය උදාකර ගැනීමට අත්වැලක් වීම බැංකුවේ මූලික අරමුණ විය.

COVID-19 රෝග ව්‍යාප්තිය හේතුවෙන් බලපෑමට ලක් වූ ගනුදෙනුකරුවන්ට සහය වීම සඳහා බැංකුව විසින් වැඩසටහන් රාශියක් ක්‍රියාවට නංවන ලදි. ශ්‍රී ලංකා මහ බැංකුවේ මාර්ගොපදේශයන්ට අනුව ක්‍රියාත්මක කරන ලද සහන හා උපදේශන වැඩසටහන් මීට ඇතුළත් විය.

මෙම ප්‍රවේශය නිසා, දැඩි අභියෝගකාරී වාතාවරණයක් තුළ පවා ශක්තිමත් මූල්‍ය ප්‍රතිඵල සමගින් කැපීපෙනෙන වර්ධනයක් අත්පත් කරගැනීමට DFCC බැංකුවට හැකියාව ලැබිණි. 2021 දෙසැම්බර් 31 දිනයෙන් අවසන් වූ වර්ෂය සඳහා වන විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශයන්හි ඇතුළත් කරුණු පහත දක්වා ඇති අතර, අන්තර්වාර මූල්‍ය ප්‍රකාශයන් සම්බන්ධ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 34 (Sri Lanka Accounting Standard 34 – LKAS 34) ට අනුකූලව එම කරුණු ඉදිරිපත් කර තිබේ.   

මූල්‍ය ක්‍රියාකාරීත්වය හා ලාභදායීත්වය

DFCC සමූහ ව්‍යාපාරය සමන්විත වන්නේ DFCC Bank PLC (DFCC), සහ ඊට අනුබද්ධ Lanka Industrial Estates Limited (LINDEL), DFCC Consulting (Pvt) Limited (DCPL) සහ Synapsys Limited (SL) යන සමාගම්, හවුල් ව්‍යාපාර සමාගමක් වන Acuity Partners (Pvt) Limited (APL) සහ හවුල්කාර සමාගමක් වන National Asset Management Limited (NAMAL) යන සමාගම් වලිනි.

සමූහයේ විශාලතම සමාගම වන DFCC බැංකුව, 2021 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා රු. මිලියන 4,326 ක බදු-පෙර ලාභයක් සහ, රු. මිලියන 3,222 ක බදු-පසු ලාභයක් වාර්තා කළේ ය. මීට සාපේක්ෂව පසුගිය වසරේ බදු-පෙර ලාභය රු. මිලියන 3,398 ක් වූ අතර, බදු-පසු ලාභය රු. මිලියන 2,388 ක් විය.

DFCC සමූහය 2021 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය තුළ රු. මිලියන 4,859 ක බදු-පෙර ලාභයක් සහ රු. මිලියන 3,665 ක බදු-පසු ලාභයක් වාර්තා කර තිබේ. පසුගිය වසරේ මෙම අගයන් පිළිවෙළින් රු. මිලියන 3,994 ක් සහ රු. මිලියන 2,847 ක් විය. සමූහයේ සියලුම සාමාජික සමාගම් මෙම ප්‍රතිඵල සඳහා ධනාත්මක දායකත්වයක් ලබා දී තිබේ.

බැංකුවේ කොටසක් සඳහා මූලික ඉපැයුම, 2021 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා රු. 10.14 ක් ලෙස වාර්තා වී ඇත. මෙය පෙර වසරේ වාර්තා වූ රු. 7.83 ට සාපේක්ෂව 29% ක වර්ධනයකි.

බැංකුවේ කොටස් මත ප්‍රතිලාභය 2020 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය තුළ 4.93% ක් ලෙස වාර්තා වූ අතර, එය මෙම සමාලෝචනයට අදාළ කාලසීමාවේදී 6.55% දක්වා වර්ධනය වී තිබේ. බැංකුවේ බදු-පෙර වත්කම් මත ප්‍රතිලාභයද 2020 දෙසැම්බර් මස 31 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂයේ වාර්තා වූ 0.78% ට සාපේක්ෂව මෙවර 0.91% දක්වා ඉහළ ගොස් ඇත.

ප්‍රධාන විධායක නිලධාරී තුමන්ගේ අදහස්

“DFCC බැංකුව සෑම විටම ගනුදෙනුකරුවන්ට මුල්තැන දෙමින්, වගකීම් සහගත ලෙස ව්‍යාපාර කටයුතු සිදුකරමින්, පැහැදිලි අරමුණු සහිතව ලාභ උපයා ගැනීමට කටයුතු කරනවා. පාරිභෝගික-කේන්ද්‍රීය සහ, පුළුල් ලෙස ඩිජිටල් තාක්ෂණය භාවිතා කරන බැංකුවක් ලෙස, ගනුදෙනුකරුවන්ගේ ස්ථාවරත්වය සඳහා අත්වැලක් වෙමින්, විශිෂ්ටතම තලයේ පාරිභෝගික අත්දැකීමක් සමග උපරිම වටිනාකම් තිළිණ කිරීම අපගේ අරමුණයි.

අපගේ ප්‍රකාශිත දැක්මට සමගාමීව, අතිනවීන මූලික බැංකුකරණ පද්ධතියක් ස්ථාපිත කිරීමට අප පියවර ගත් අතර, මෙය 2021 ඔක්තෝබර් මාසයේදී ක්‍රියාත්මක කරනු ලැබුවා. දැවැන්ත හා සංකීර්ණ ව්‍යාපෘතියක් වන මෙය ක්‍රියාවට නැංවීමේදී අනපේක්ෂිත අභියෝග වලට මුහුණ දීමට අපට සිදු වුණු අතර, එහිදී අප සමග අවබෝධයෙන් සහ ඉවසීමෙන් යුතුව කටයුතු කළ අපගේ සියලුම ගනුදෙනුකරුවන්ට අපගේ අවංක ස්තූතිය සහ කෘතඥතාව හිමි විය යුතුයි. ඔවුන්ට වඩාත් හොඳ සේවාවක් ලබාදීම සඳහා දියුණු හා ඩිජිටල් තාක්ෂණික පද්ධති භාවිතයට ගැනීමට අප නිරන්තරයෙන් කටයුතු කරනවා.

පවතින වසංගත තත්ත්වය හේතුවෙන් මතුවී ඇති පෙර නොවූ විරූ අභියෝග හමුවේ පවා, ගනුදෙනුකරුවන්ට බලපා ඇති අයහපත් සමාජ-ආර්ථික තත්ත්වයන්ට එරෙහිව කටයුතු කරමින්, විශේෂයෙන් සකස් කළ මූල්‍ය විසඳුම් හරහා ඔවුන්ට අත්වැලක් වීමට DFCC බැංකුවේ කාර්ය මණ්ඩලය පියවර ගෙන තිබෙනවා. ඉදිරියටත් ආරක්ෂාවට මුල්තැන දෙන බැංකු සේවාවන් හඳුන්වා දීමත්, එම මූලධර්මයන් අනුව අපගේ අභ්‍යන්තර ක්‍රියාවලි හැඩගස්වා ගනිමින් ගනුදෙනුකරුවන්ට වඩාත් විශිෂ්ට වූ සේවාවක් ලබාදීමත් අපගේ ඉලක්කයයි.

ශක්තිමත් වත්කම් පදනමක් අප සතු වන අතර, අපට වඩාත්ම වැදගත් වන්නේ අපගේ ගනුදෙනුකරුවන් අප කෙරෙහි දක්වන ළැදියාවයි. ඔවුන්ගේ මුදල් සහ දත්ත සුරක්ෂිතව පවත්වා ගනිමින්, ඔවුන්ගේ මූල්‍ය අවශ්‍යතා සපුරාලන නිෂ්පාදන හා සේවාවන් නිරන්තරයෙන් හඳුන්වා දීමට අප කටයුතු කරනවා. අපගේ සේවාවන් නිරන්තරයෙන් වැඩිදියුණු කරගනිමින්, ගනුදෙනුකරුවන් අපේක්ෂා කරන මට්ටමටත් වඩා හොඳ සේවාවක් ලබාදීමට අපට හැකි වී තිබෙන්නේ ඔවුන්ගෙන් ලැබෙන නිරන්තර ප්‍රතිචාර නිසයි.”

DFCC බැංකුව පිළිබඳව

DFCC බැංකුව වසර 66 කට අධික ප්‍රෞඪ උරුමයක් හිමි, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමකින් පැවත එන, පුළුල් පරාසයක පැතිරුණු වාණිජ හා සංවර්ධන බැංකු සේවාවන් සපයන වාණිජ බැංකුවකි. හරිත මූල්‍යකරණයට සහ තිරසාර හා සමාජයීය ව්‍යවසායකයන්ට අත්වැලක් වෙමින්, රටේ තිරසාර ආර්ථික සංවර්ධනයට දායක විය හැකි ශක්තිමත් ව්‍යාපාර නිර්මාණය කිරීම ඇතුළුව, වඩාත් ශක්තිමත් දේශයක් බිහිකිරීම උදෙසා උරදෙන ප්‍රමුඛතම බැංකු අතරින් එකක් බවට පත්වීම, DFCC බැංකුවේ 2030 තිරසාරත්ව ක්‍රමෝපායේ එක් ප්‍රධානතම ඉලක්කයකි. එම බැංකුවට 2021 වසරේදී එක්සත් රාජධානියේ Global Brands Magazine වෙතින් ‘ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසය දිනූ පාරිභෝගික බැංකුකරණ සේවා සන්නාමය’ සහ ‘ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික සේවා බැංකුකරණ සන්නාමය’ යන සම්මාන හිමි විය. එමෙන්ම Business Today සඟරාව මගින් DFCC බැංකුව ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම සමාගම් 40 අතරට නම්කර ඇත. තවද එම බැංකුව ICRA Lanka සමාගම වෙතින් [SL] AA- ස්ථාවර’ ශ්‍රේණිය සහ Fitch Ratings Lanka සමාගම වෙතින් ‘A+ (lka)  ස්ථාවර’ ශ්‍රේණිය හිමිකරගෙන තිබේ.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *