ශ්‍රී ලංකාවේ ප්‍රථම වෛද්‍ය උපකරණ නිෂ්පාදන කර්මාන්තශාලාව Flexicare Lanka මුදල් අමාත්‍ය ගරු බැසිල් රාජපක්ෂ මහතා අතින් විවෘත වේ.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වෛද්‍ය උපකරණ නිෂ්පාදන කර්මාන්තශාලාව Flexicare Lanka නමින් පසුගියදා බණ්ඩාරගමදී ගරු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් විවෘත කෙරිණි. එක්සත් රාජධානියේ Flexicare Group සමූහ ව්‍යාපාරයේ පූර්ණ අනුබද්ධිත ආයතනය වන Flexicare Lanka බණ්ඩාරගම ප්‍රදේශයේ ස්ථාපිත කෙරුණේ  ඇමෙරිකානු ඩොලර් මිලියන 15කට අධික ආයෝජනයක් ලෙසය. එමගින් නවීනතම වෛද්‍ය උපකරණ  නිෂ්පාදනය කෙරේ. ලංකා නිෂ්පාදන ඉතිහාසයේ මෙවැනි අති නවීන වෛද්‍ය උපකරණ නිෂ්පාදන කම්හලක් රට තුළ සිය මෙහෙයුම් ආරම්භ කරන පළමු අවස්ථාව මෙම අවස්ථාව ලෙස සැලකේ.

උත්සව අමතමින් සිය  අදහස් දැක් වූ ගරු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ” ලෝකය පුරා දැඩි වසංගත තත්වයක් පවතින අවස්ථාවක වුවත් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම පිළිබන්ඳව ප්‍රථමයෙන්ම බ්‍රිතාන්‍යයේ Flexicare සමාගමට ස්තූතිවන්තවනවා. අද දින විවෘත වන මෙම නිශ්පාදනාගාරය ශ්‍රී ලංකාවේ ප්‍රථම වෛද්‍ය උපකරණ නිශ්පාදනය කරන ආයතනය වන අතර මේ හරහා ශ්‍රී ලංකාවේ ක්ෂේත්‍ර ගණනාවකට විවිධ විසඳුම් හිමිවනවා. විශේෂයෙන්ම රටේ පවතින ඩොලර් හිඟයට මේ හරහා ලැබෙන දායකත්වය සුවිශේෂ වනවා. මෙහි නිශ්පාදන‍යන්ගෙන් සියයට 90ක් අපනයනය කෙරෙන අතර එමගින් රටට ලැබෙන විදේශ විනිමය මේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට විශාල සේවයක් වනවා. එපමණක් නොවෙයි රටේ රැකියා අවශ්‍යතාවයට මේ හරහා විසඳුම් හිමිවනවා. ඒ අනුව ඇමරිකානු ඩොලර් මිලියන 15කට  අධික මෙම ආයෝජනය හරහා සෘජු රැකියා අවස්ථා 600ක් මේ රටේ ජනතාවට හිමිවනවා.

සෞඛ්‍ය අමාත්‍ය ගරු කෙහෙළිය රඹුක්වැල්ල මහතාද මෙම අවස්ථාවට සහභාගී වෙමින් මෙසේ සඳහන් කළේය. ”ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්‍ෂේත්‍රය තුළ අපනයන ක්ෂේත්‍රය අරමුණු කර ගනිමින් ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමේ දැක්ම අනුව අනාගත උදෙසා වූ මෙවැනි නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් මෙරට ඉතිහාසයේ ස්ථාපිත කළ පළමු අවස්ථාව මේය වනවා. මෙවැනි ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති නිෂ්පාදන කම්හලක් අපේ රට තුළ තිබීම ගැන අපි අතිශයින් ආඩම්බර වන අතර Flexicare ශ්‍රී ලාංකීය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් සිදු කරනු ඇති බවට අප පූර්ණ විශ්වාසයක් තබා තිබෙනවා. Flexicare සමාගමේ මෙම ආයෝජනය මගින් මෙරට රැකියා අවස්ථා උත්පාදන, දේශීය සම්පත් සංවර්ධනය, විදේශ විනිමය සහ ජාතියේ සමස්ත ආර්ථික හා සෞඛ්‍යය සම්බන්ධයෙන් පුළුල් සේවාවක් ඉටු කරනු ලබනවා. විශේෂයෙන්ම සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ මෙවැනි තවත් බොහෝ ආයෝජන සඳහා අපි අවංකවම බලාපොරොත්තු තබා ඇති අතර ඒ සඳහා ශ්‍රී ලංකාව හැකි හොඳම පසුබිම සකස් කර දෙන බවට සහතික වනවා.”

මෙම සුවිශේෂී අවස්ථාවට වරාය සහ නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර,පාර්ලිමේන්තු මන්ත්‍රී සන්ජීව එදිරිමාන්න, හිටපු සෞඛ්‍ය ඇමති දොස්තර රාජිත සෙනාරත්න, බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්තුමිය වන සරා හල්ටන්, ආයෝජන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල යන මහත්ම මහත්මින්ද සහභාගී වූහ.

2019 වසරේ  බණ්ඩාරගම ප්‍රදේශයේ මෙම කර්මාන්ත ශාලාව ඉදිකිරීම් ආරම්භ කළ අතර මේ වන විට එය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වේ. මෙම Flexicare Lanka නව නිෂ්පාදන කර්මාන්තශාලාවේ නිෂ්පාදනයන්ගෙන් 90%කට වැඩි ප්‍රමාණයක් අපනයනය කෙරෙන අතර ඒ හරහා ශ්‍රී ලංකාව ප්‍රථම වරට ගෝලීය වෛද්‍ය පරිභෝජන උපාංග නිෂ්පාදන සිතියමට ද ඇතුළත් වේ. Flexicare Lanka එහි පළමු අදියරේදී පුද්ගලයින් 600 කට අධික සංඛ්‍යාවකට සේවක අවස්ථා සැලසීමට නියමිතය. මේවන විට 150ක ශ්‍රම බලකායකින් එහි වැඩ ආරම්භ කෙරෙන අතර නියමිත කාල රාමු අනුව දෙවන ව්‍යාපෘතිය සඳහා සැලසුම් සමඟ සේවක අවස්ථාද වඩාත් පුළුල් කෙරෙනු ඇත.

Flexicare සමූහ ව්‍යාපාරයේ සභාපති Ghassem Poormand මහතා මේ පිළිබඳ අදහස් දක්වමින් මෙසේ කියා සිටියේය.  “Flexicare විසින් මෙම ව්‍යාපෘතිය සඳහා ඩොලර් මිලියන 15 කට වඩා වැඩි මුදලක් ආයෝජනය කර තිබෙනවා. අප ශ්‍රී ලංකාවේ ප්‍රථම වෛද්‍ය උපකරණ නිෂ්පාදකයා පමණක් නොවෙයි. ආයෝජන මණ්ඩලය සහ රාජ්‍ය ආයතන සමඟ එක්ව කටයුතු කරමින් සායනික අවශ්‍යතා සඳහා terminal ethylene oxide sterilisation තාක්ෂණය ප්‍රථම වරට මෙරටට හඳුන්වා දුන් ආයතනයද වනවා.”

මීට අමතරව, Flexicare සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ Hash Poormand මහතාද මෙසේ අදහස් දැක්විය. “COVID-19 වසංගතයේ පැමිණීමත් සමඟ අපගේ රෝගීන්ට ජීවිතාරක්ෂාව හා ජීවිතාරක්ෂක නිෂ්පාදන අවශ්‍යතාවය ඉතා තදින්ම දැනෙන වෙනත් කාලයක් නොමැති තරම්. මේ නිසා Flexicare Lanka අප හදිසි වෛද්‍ය උපකරණ ලොව පුරා බෙදා හැරීම සහතික කිරීමට උපකාරී වන බවට සහතික වනවා.”

Flexicare යනු සෞඛ්‍ය සේවා අංශයේ වසර 30කට වැඩි අත්දැකීම් හා පළපුරුද්දක් සහිතව වෛද්‍ය උපාංග නිෂ්පාදනය කරන සහ සපයන පුද්ගලික අංශයේ ප්‍රමුඛ පෙළේ වෛද්‍ය උපකරණ නිෂ්පාදකයෙකි. Flexicare හි මුලස්ථානය එක්සත් රාජධානියේ පිහිටා ඇති අතර ඇමරිකා එක්සත් ජනපදය, දකුණු ඇමරිකාව, නෙදර්ලන්තය, ජර්මනිය, ඉතාලිය, තුර්කිය, ජෝර්දානය, ඊජිප්තුව, ඉන්දියාව, කොරියාව, චීනය, ජපානය සහ ඕස්ට්‍රේලියාව, මැලේසියාව ශ්‍රී ලංකාව, යන රටවල පූර්ණ අනුබද්ධිත ආයතන සහ විද්‍යා මධ්‍යස්ථාන වල සහාය ඇතිව රටවල් 110කට අධික සංඛ්‍යාවකට සිය ජාත්‍යන්තර නිෂ්පාදන ජාලය  පුළුල් කර තිබේ.

එසේම ප්‍රමුඛ පෙළේ වෙළඳපොලවලට නවීනතම නිෂ්පාදන විසඳුම් හඳුන්වාදෙමින්, සිය නිර්වින්දන සහ ශ්වසන නිෂ්පාදන සැපයුම් දාමයේ පූර්ණ පාලනයට යටත්ව ඒකාබද්ධ ව්‍යාපාරික ආකෘතියක් ගොඩ නැවීම සඳහා සමාගම සිය මෙහෙයුම් සහ හැකියාවන් තව දුරටත් පුළුල් කරනු ඇත.

ඡායා (වමේ සිට) –  Flexicare සමූහ ව්‍යාපාරයේ සභාපති ගසීම් පුමන්ඩ්, බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්තුමිය වන සරා හල්ටන්, වරාය සහ නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර,පාර්ලිමේන්තු මන්ත්‍රී සන්ජීව එදිරිමාන්න, හිටපු සෞඛ්‍ය ඇමති දොස්තර රාජිත සෙනාරත්න, ආයෝජන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල සහ  Flexicare Sri Lanka හී සාමාන්‍යධිකාරී සංජිව ජයසිංහ යන මහත්වරු විවෘත කිරීමේ අවස්ථවට සහභාගී වෙමින් .

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *