ශ්‍රී ලංකාවේ විශාලතම එළිමහන් කලා සල්පිල පෙබරවාරි 23 වනදා

කොළඹ සංස්කෘතික දිනපොතෙහි මග නොහැරිය යුතු ඉසව්වක් ලෙස ඉමහත් ජනප්‍රියත්වයට පත් වාර්ෂික එළිමහන් කලා සල්පිල, ‘කලා පොළ 2020’ කොළඹ 07 ආනන්ද කුමාරස්වාමි මාවතේ දී එළඹෙන පෙබරවාරි 23 වන ඉරුදින පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ජෝන් කීල්ස් සමූහයේ සහයෝගීතාව සමඟින් ජෝර්ජ් කීට් පදනම විසින් සංවිධානය කරනු ලබන කලා පොළ එදින උදෑසන 8.00 සිට රාත්‍රී 8.00 දක්වා පැවැත්වීමට නියමිතය.

ජෝර්ජ් කීට් පදනමේ සංකල්පයක් මත, කලා පොළ මුල් වරට පැවැත්වුණේ 1993 වසරේ කලා කරුවන් 30 දෙනෙකුගේ සහභාගීත්වයෙනි. එතැන් පටන් ජෝන් කීල්ස් සමූහයේ වසර 25ක නොබිඳුණු අනුග්‍රහය යටතේ, කලා පොළ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන විශාලතම එළිමහන් කලා අලෙවි ප්‍රදර්ශනය බවට පත්වූ අතර මෙය දේශීය චිත්‍ර ශිල්පීන් සහ මුර්ති ශිල්පීන් ගේ ජාලකරණයට මනා තෝතැන්නක් විය.

ජනතාවගේ නෙත් සිත් වර්ණවත් කරමින් පැවැත්වෙන කලා පොළ නැරඹීම සඳහා 2019 වර්ෂයේදී  31000ක් පමණ වූ නරඹන්නන් පිරිසක් සහ 350කට අධික කලාකරුවන් පිරිසක් එක් වූහ. තවද ළමා චිත්‍ර අන්තයේ 235කට අධික දුවා දරුවන් සදහා කලා නිර්මාණ කිරීමට ඉඩ ප්‍රස්තාව ලැබිණි. ගෙවීගිය වසර තුළ දී මෙන්ම මෙවර ද කලා පොළ සඳහා දිවයිනේ නන් දෙසින් දහස් සංඛ්‍යාත නරඹන්නන් පිරිසක් පැමිණෙනු ඇතැයි අපේකෂා කෙරේ.

විවිධ කර්මාන්ත අංශ 7ක සමාගම් 70 කට අධික සංඛ්‍යාවක්  පවත්වාගෙන යන, වර්තමානයේ කොළඹ ව්‍යාපාර  වස්තු හුවමාරුවේ ඉහළම වෙළඳපල ප්‍රාග්ධන සම්පාදනයට හිමිකම් ලබන ජෝන් කීල්ස් සමූහයේ ආයතනික සමාජ වගකීම් අංශය වන ජෝන් කීල්ස් පදනම විසින් ක්ෂේත්‍ර 6ක් යටතේ සිය සමාජ වගකීම් වැඩසටහන් ක්‍රියාත්මක කරයි.  එහිදී වාර්ෂිකව සංවිධානය කරන කලා පොළ සඳහා සුවිශේෂී ස්ථානයක් හිමි වනුයේ, දේශීය කලාව සහ කලා කරුවා නඟා සිටුවීමට මෙන්ම  චිත්‍ර ශිල්පීන් හා මූර්ති ශිල්පීන්ගේ වෘත්තීය ජීවිතය ඔප නැංවීම වැදගත් කාර්ය භාරයක් වන නිසාවෙනි. තවද දේශීයව සහ විදේශීයව කලා නිර්මාණ කරුවන්ගේ විශිෂ්ට කලා හැකියාවන් ප්‍රදර්ශනය කිරීම සඳහා කලා පොළ විශාල මෙහෙවරක් සිදු කර ඇත.

මෙරට දෘශ්‍ය කලාව හා ශිල්පීන් නගා සිටුවීම පිණිස, ශ්‍රී ලංකාවේ පුරෝගාමී චිත්‍ර ශිල්පියකු වූ ජෝර්ජ් කීට් මහතා ජීවත්ව සිටියදී, 1988 ජූනි 18 වැනිදා ජෝර්ජ් කීට් පදනම පිහිටුවන ලදී.  රටෙහි චිත්‍ර හා මූර්ති ශිල්පීන් ට ස්වකීය නිර්මාණ එළි දැක්වීමට, ඒවාට වෙළෙඳ පොළ සකස් කර ගැනීමට සේම, ශිල්පය තවදුරටත් ඉගෙන ගැනීමට හා ක්ෂේත්‍රය තුළ සබඳතා ජාලයක් සකස් කර ගැනීමට ජෝර්ජ් කීට් පදනම මග සලසයි.

පෞරාණික යුරෝපා අග නගරයන් හි පැවැත්වෙන එළිමහන් ගිම්හාන කලා පොළවල්වල ආභාෂය ලබාගනිමින් පැවැත්වෙන කලා පොළ, චිත්‍ර ශිල්පීන්ට සහ මූර්ති ශිල්පීන්ට දේශීය සහ විදේශීය සහෘද ජනතාව වෙත සිය නිර්මාණ ප්‍රදර්ශනයට, අලෙවි කිරීමට මෙන්ම ක්ෂේත්‍ර ප්‍රවීණයින් සහ සහෝදර කලා කරුවන් දැන ගැනීමට අවකාශයක් සපයයි.  පෙර වසරවල දී මෙන්ම මෙවර ද කලා පොළ නැරඹීම සඳහා මහජනතාවගෙන් කිසිදු මුදලක් අය කෙරෙන්නේ නැත.

මෙම ප්‍රදර්ශනය චිත්‍ර සහ මූර්ති පමණක් නොව ශ්‍රී  ලංකාවේ කලා ක්ෂේත්‍රයේ  විවධ වූ රසයන් විදහා පාමින් දේශීය නැටුම්, ජන ගායනා, බෙර වාදන සහ අනෙකුත් සංස්කෘතික අංග වලින් විචිත්‍රවත් වූ කලා කේන්ද්‍රයක් බවට අද වනවිට පත්ව ඇත. සහෝදර කලාකරුවන් මුණ ගැසීමට සහ තම දැනුම පුළුල් කර ගැනීමට කලාකරුවන් හට මෙය මහඟු අවස්ථාවකි.

මෙම වසරේදී කලාකරුවන් සදහා අයදුම්පත් කැඳවීම ඩිජිටල්කරණය කරන ලද අතර 370කට අධික අයදුම්පත් ප්‍රමාණයක්  ලැබිණි. මෙදිනට පමණක් සීමා නොවී දේශීය කලාව වසර පුරාම විදහා දැක්වීම සදහා ජෝන් කීල්ස් පදනම විසින් srilankanartgallery.com යන ඩිජිටල් චිත්‍රාගාරය ද මෙහෙයවනු ලබයි.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *